වෝල් ස්ට්‍රීට් විරෝධීන්ට ඉඩ විවර වෙයි

නිව්යෝක් නගර උද්‍යානය පිරිසිදු කිරීමේ තීරණය ආපස්සට ගැනීමත් සමඟ වෝල් ස්ට්‍රීට් විරෝධීන්ට තවදුරටත් එම උද්‍යානයේ රැදී සිටීමේ අවස්ථාව උදාවී තිබේ.

සුකෝටි පාර්ක් නම් එම උද්‍යානය බෘෘක් ෆීල්ඩ් නම් සමාගමකට අයත් වූවක් වන අතර වෝල් ස්ට්‍රීට් විරෝධීන් ඉවත්කිරීමේ පියවරක් ලෙස උද්‍යානය පිරිසිදු කිරීමේ තීරණයකට එම සමාගම එළඹ තිබුණි. උද්‍යානයෙන් එම උද්ඝෝෂකයින් ඉවත්කිරීම සඳහා සමාගම පොලීසියෙන් සහාය ඉල්ලා තිබූ අතර එය නියමිතව තිබුණේ 14 වැනි සිකුරාදාය.

කෙසේ වුවද බ්‍රහස්පතින්දා රාත්‍රියේ තම තීරණය පසුවට කල්තැබීමට තීරණය කළ සමාගම උද්ඝෝෂකයින් සමග එකඟතාවයකට පැමිණ පිරිසිදු කිරීම් පසුව සිදුකරන බව කියා තිබේ.

වෝල් ස්ට්‍රීට් විරෝධීහු දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ධනවාදයේ සංකේතය බඳු වූ වෝල් ස්ට්‍රීට් සමාගම් ප්‍රජාවට එරෙහිව සති ගණනාවක සිට උද්ඝෝෂණය කරමින් සිටිති. පසුගිය 01 වන දා පොලීසිය සමග බෲක්ලින් පාලම මත සිදුවූ අරගලයකදී සියගණනක් අත්අඩංගුවට පත් වුවද විශාල පිරිසක් උද්ඝෝෂකයන් දිරිමත් කරමින් එම ස්ථානයට ඇදී එමින් සිටිති. එක්සත් ජනපදයේ ආණ්ඩුව වෝල් ස්ට්‍රීට් ව්‍යාපාර ප්‍රජාව මගින් පාලනය වන රූකඩයක් පමණක් බව කියා සිටින විරෝධකරුවෝ තමන් පීඩාවට පත්කර ඇති, තම අවශ්‍යතා නොහඳුනන සහ තමන්ගේ විශ්වාසය බිඳ ගත් සමාජ ක්‍රමයට එරෙහිව දිගටම සටන් වදින බව කියා සිටිති.

උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ, යුරෝපයේ මෙන් උද්ඝෝෂණ මැඩීම සඳහා නිව්යෝර්ක් නගරාධිපතිවරයා තමන් පලවා හැරීමට උද්‍යානය අයත් සමාගම උසිගන්නවා ඇති බවය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්