අපිට ඉන්න තැනක් දෙන්න… පාඩම් කරන්න නිදහස දෙන්න…
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇති දඹුල්ල පූජා භූමි සංවර්ධන වැඩසටහන නිසා ඉඩම් හා දේපල අහිමිවූ පවුල් 32ක පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලා දඹුල්ල කණ්ඩලම හංදියේ අද (10) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කළහ.
එම වැඩසටහන නිසා පවුල් 100කට අධික ප්‍රමානයක පිරිසකට තම ගෙවල් දොරවල් අහිමිවී ඇත. ඔවුන්ගේ අහිමිවන ඉඩම් වෙනුවෙන් ඉඩම් ලබාදෙන බව පැවසුවත් ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබූ ඉඩම වෙනත් ආයෝජකයෙකු වෙත ලබාදී තිබේ.
කෝටි 6.5ක් පමණ වටිනා දේපලක් හිමි එක් පුද්ගලයෙකුගේ එම දේපල වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය තක්සේරු කර ඇත්තේ රුපියල් 9,750ක් පමණි.
වන්දි ලබා දෙන්නේ 1982 වන්දි තක්සේරුවට අනුව බව නාගරික සංවර්ධන අධිකාරිය පවසන නමුත් එම ජනතාව පවසන්නේ පූජා භූමි සංවර්ධනයට කැමැත්ත පළ කරන නමුත් අහිමිවන දේපළවලට සාධාරණ වන්දියක් එම ඉඩම්වල වර්තමාන වටිනාකමට අනුව ලබා දියයුතු බවයි.
කෙසේ නමුත් එම නිවෙස්හි ජීවිත්වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකට නිදහසේ තම අධ්‍යාපන කටයුතු පවා සිදුකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි මෙම උපවාසයට එක්වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පවසති.
හමුදාව මැදිහත්වී ප්‍රදේශවාසීන් බිය ගන්වමින් තම නිවෙස් ඩෝසර් යොදා බිමට සමතලා කරන බවත් අඩුම තරමේ තම ගෘහ උපකරණ හෝ තමන්ට බේරා ගැනීමට නොහැකි වී ඇති බවත් උපවාසයේ නියුතුවූවෝ පවසති.
පිලිකාවකට ගොදුරුවී සිටි පුද්ගලයෙකු කළක් රෝහල් ගතවී නිවෙසට එනවිට ලක්ෂ ගණනාවක් වටිනා ගෘහ උපකරණද සමග තම නිවෙස බිමට සමතලා කර තිබුනේයැයි ඔහු ඇඩූ කඳුලින් පවසයි.





















