ඇවන්ගාඩ් සමාඟමට ගාලු වරායට නුදුරු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් ශ්රී ලංකා රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකර ඇති බවට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව නීති විරෝධී බවත් එකී චෝදනාවෙන් තමා නිදොස්කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්රකාශ කිරීම අභියාචනාධිකරණය ලබන අගෝස්තු 30 වැනිදා තෙක් කල් දමා තිබේ.
අදාල නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති ආකාරය නීති විරෝධීබව මීට ඉහත විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු මූලික විරෝධතා මතු කළද ඒවා ප්රතික්ෂේපකර නඩුව ඉදිරියට විභාග කිරීමට තීරණය කර තිබිණි. පසුව කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ප්රකාශිත එම තීන්දුව නීති විරෝධී බවත් එය ප්රතිශෝධනය කර තමන් චෝදනාවලින් නිදහස් කරන ලෙසත් ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ ද එයද ප්රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කර ඇති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
පසුව කොළඹ මහේස්ත්රාත් අධිකරණය හා කොළඹ මහාධිකරණය ප්රකාශ කර මෙම නඩු තීන්දු ප්රතිශෝධනය කර තමා සියළු චෝදනාවලින් නිදහස් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ මෙම පෙත්සම ගොනුකර තිබේ.
අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබූ අතර නඩු තීන්දුව තවමත් සූදානම් නොමැති බවත් තීන්දුව ප්රකාශ කිරීම අගෝස්තු 30 දක්වා කල් තබන බවත් විනිසුරු මඬුල්ල තීන්දුකර තිබේ.










