සාෆිට ඇප දෙනවාද නැද්ද තීන්දුව අද පස්වරු 5.30ට

සාෆිට ඇප දෙනවාද නැද්ද තීන්දුව අද පස්වරු 5.30ට

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට ඇප ලබා දෙනවාද නැද්ද පිළිබඳ තීන්දුව අද (11) සවස 5.30 සිදු කරන බව සඳහන් කරමින් කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම නඩු විභාගය එතෙක් කල් තැබීමට නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් වෛද්‍යවරයාව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වා ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවය.

මේ නිසා ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු ඊයේ (10) ඔහුට එරෙහිව මාස තුනකට ලබාදී තිබූ රැඳවුම් නියෝගය අවලංගු කළ බවද ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබූ අයථා වත්කම් චෝදනාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට සඳහන් කර ඇත.

එමෙන්ම අයථා ලෙස මුදල් උපයාගෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන වැරදි සිදුකළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු මේ දක්වා ඔහුට එරෙහිව ඉදිරිපත් වී නැති නමුත් තවදුරටත් විමර්ශන කරන බවද ඔහු දැනුම්දී ඇත.

ෂාෆි වෛද්‍යවරයා විසින් කුරුණෑගල රෝහලේදී සැක සහිත සිසේරියන් සැත්කම් සිදුකළ බවට මව්වරුන් 850කට අධික පිරිසකගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම මව්වරුන්ගෙන් වෙන් වෙන්ව ප්‍රකාශ සටහන් කර, රෝහලේ ඇති ඇද ඉහපත් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කර තිබේ.

පසුගිය වසර කිහිපයේ එම රෝහලෙන් වෙනත් වෛද්‍යවරුන් වෙන් වෙන්ව සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ වාර්තාගෙන ඒ වෛද්‍යවරුන් කරනු ලැබූ සැත්කම් ගැන සහ එහිදී ඇති වී ඇතැයි කියන සංකූලතා පිළිබඳ වාර්තාවක් සකස් කළ යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.

එමෙන්ම ෂාෆි වෛද්‍යවරයාගෙන් සැත්කම් කර ගැනීමෙන් පසු වසර දෙකක් ඉක්මයනතුරුත්, දරුවන් නොමැති බවට පැමිණිලි කළ මව්වරුන් 147 දෙනා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ලබා දුන් උපදෙස් පරිදි  SHG පරීක්ෂාවක් අනිවාර්යයෙන් සිදු කිරීම සඳහා නියෝගයක් කරන ලෙසත් ඔහු ඉල්ලා ඇත.

මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්  ප්‍රකාශ කර ඇත්තේ සාෆිගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයේ දී ඉඩම්වල මුහුරත් වටිනාකම පමණක් ඉදිරිපත් කර ඇති බවත් ඒවායේ වර්තමාන වටිනාකම ඉදිරිපත් කර නැති බවත්ය. එමෙන්ම බැංකු දෙකක ගිනුම් ගැන පරීක්ෂණයක් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ඉවත් කර තිබෙන බවද මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ප්‍රකාශ කර තිබේ.

එක්තරා බැංකුවට සාෆි වෛද්‍යවරයාගේ නමින් රුපියල් මිලියන 115ක මුදලක් හුවමාරු වී ඇති බවද එම නීතීඥවරු සඳහන් කර ඇත.

සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට ඇප දෙනවාද නැද්ද යන්න ගැන තීන්දුව පස්වරු 5.30ට ලබා දීමට තීන්දු කර තිබේ.

Facebook
Twitter
LinkedIn