රිෂාඩ්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කොමිසම කැඳවයි

රිෂාඩ්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කොමිසම කැඳවයි

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අද(05) පෙරවරු 10.00ට පෙර වගකිවයුතු නිලධාරියෙකු මගින්, 2015-2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම වෙත බාර දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී ඇත.

රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ ව්‍යාපාරයක නමට සහ ඔහුගේ සහෝදරයින්ගේ නම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර ගනිමින් මන්නාරම ඉඩම් අක්කර 3000ක් ලබාගෙන ඇතැයි, 2015 – 2018 වර්ශවල රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම වෙත ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා මෙම වත්කම් බැරකම් ප්‍රකාශ කැඳවා තිබේ.

කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු මහලේකම්වරයා මගින් නිකුත් කිරීමේ නෛතික ගැටළුවක් පවතින බව වාර්තා වේ.

1975 අංක 1 දරන වත්කම් බැරකම් පනතට අනුව අල්ලස් කොමිසමට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාට පරිබාහිරව වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීමට පාර්ලිමේන්තුවට නෛතික බලයක් නොමැති බවත් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කොමිසමකට ලබාදීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීමට බලාපොරොත්තු වන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn