ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්දය විමසන ජූලි 10 සහ 11 යන දෙදින ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධ තීරණාත්මක තත්වයක් ඇතිවිය හැකි බවට අනාවැකි පළ වී තිබේ.
දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට පක්ෂව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ සහ මෛත්‍රී පාර්ශ්වයේ සියලුම මන්ත්‍රීවරු ඡන්දය ලබා දීමට නියමිත බවය.
මෛත්‍රී පාර්ශවයේ මන්ත්‍රීවරු ඡන්දය දිමෙන් වැළකී සිටියහොත් ඉදිරියේදී රට තුළ දේශපාලනය කිරීමේ කිසිදු හැකියාවක් ඔවුන්ට ඉතිරි නොවන බව එම පාර්ශවයේ මතය වී තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට ඡන්දය ලබා දෙනු ඇති බවද, එහෙත් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරගෙන ආණ්ඩුව තුළ සිටින මන්ත්‍රීවරු විශාල පිරිසක් සහ රනිල් විරෝධීන් විශාල පිරිසක් තීරණාත්මක වනු ඇති බවද වාර්තා පළ වේ.
අවම වශයෙන් එජාප මන්ත්‍රීන් 20දෙනෙකුවත් ඡන්දය දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බව අනාවරණය වේ. එසේම එම විවාදය ආසන්නයේදී මන්ත්‍රී වෙන්දේසිය යළි ඇතිවීමේ ඉඩද විශාල බවට අනාවැකි පළ කෙරේ.
ලංකා ඉරිදා සංග්‍රහය – ගයාන් රූපසිංහ










