දස දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ බස් වෑන් අනතුරෙ බස් රියදුරුට ඇප

මහියංගනය ප්‍රදේශයේ අද(17) අලුයම දස දෙනෙකුට මරු කැඳවමින්, වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පසු අත්අඩංගුවට ගත් බස්රථ රියදුරා ඇප මත මුදාහැර තිබේ.

සිද්ධියට අදාලව බස්රථ රියදුරා මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

අනතුරට ලක්වන විට වෑන් රථයේ පුද්ගලයන් 12 දෙනෙකු පමණ ගමන්කර ඇති අතර ඉන් දස දෙනෙකු මිය ගියේය. තුවාල ලැබූ දෙදෙනෙකු බරපතල තත්වයෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) මහියංගනය රෝහලේදී සිදු කරනු ලැබූ අතර සවස 6.00 පමණ වන විටත් එම කටයුතු අවසන් නොවූ බව මහියංගනය පොලිසිය සඳහන් කළේය.

අනතුරට පත් වෑන් රථය මඩකලපුවේ සිට ජා ඇල සිටින ඥාතීන් පිරිසක් බැහැදැකීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

Facebook
Twitter
LinkedIn