ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් කම්පා කරවමින්, ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝක උරුමයක් ලෙස සැළකෙන නෝත්‍ර දාම් කතෝලික දේවස්ථානයේ ඇතිවූ ගින්නෙන් එහි වහලය කොටස සහ ප්‍රධාන සීනුව දැවී විනාශවී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න ඊයේ(15) පස්වරු 6.45ට පමණ හටගෙන ඇති අතර අද අලුයම 2.00 පමණ වනවිට පාලනය කර ගැනීමට ගිනි නිවන කණ්ඩායම්වලට හැකිවිය.
පැරිස් ගිනි නිවන භටයන් 200ක් පමණ ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවයේ යෙදී සිට ඇත.
හතරවැනි සියවසට අයත් ප්‍රංශයේ හදවත ලෙස සලකන මෙම දේවස්ථානය ප්‍රංශ ගෘහ නිර්මාණ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇති නිර්මාණයකි. ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවෙන් පරිපූර්ණ අති විශිෂ්ඨ ගෘහ නිර්මාණාත්මක ලක්ෂණ වලින් යුත් මෙම දේවස්ථානයේ ඉදිකිරීම් වර්ෂ 1163 දී ආරම්භ කර වර්ෂ 1345දී අවසන් කර ඇත්තේය. මේ සඳහා වසර 200 කට කාලයක් වැය කොට ඇත.
අති විශාල සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇති මෙම දේවස්ථානයට වසරකට සංචාරකයන් ලක්ෂ 140ක් පමණ පැමිණෙන බව වාර්තාවල සඳහන් වේ.
ගින්න හටගන්නා අවස්ථාවේද දෙස් විදෙස් සංචාරකයන් රැසක් එහි සංචාරය කරමින් සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව පිටත් කිරීමට බලධාරීන් කටයුුතු කර ඇත.
දැනට සිදුවී ඇති අලාභය පිළිසකර කිරීම සඳහා යුරෝ මිලියන 150 ක් (රුපියල් කෝටි 30,000 ක් ) පමණ වැය වන බව බලධාරීන්ගේ මතයයි.
මෙම සිදුවීම සම්බන්ධව ලොව පුරා රාජ්‍ය නායකයින්, ක්‍රීඩකයින් සහ සම්භාවනීය පුද්ගලයින් සිය කණගාටුව පල කරමින් නිවේදන ද නිකුත් කර තිබේ.
පසුගිය දිනවල දේවස්ථානයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද සිදුවෙමින් පැවත ඇති අතර ගින්න හටගන්නා අවස්ථාවේ එහි සේවයේ නිරත පිරිස් එදිනට නියමිත කටයුතු අවසන්කර පිටව ගොස් තිබූ බව ද සඳහන් වේ. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.










