කොග්ගල ඔයේ පරිසර පද්ධතිය විනාශකරමින් සිදු කරනු ලබන ව්‍යාපාරික කටයුතු සහ ආරක්ෂක අංශවල බලපෑම් හේතුවෙන් එම ඔය ආශ්‍රිතව මිරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන සුළුපන්න ධීවරයන් අසීරුතා රැසකට මුහුණදෙමින් සිටින බව සමස්ත ලංකා පොදුධීවර සම්මේලනයේ සභාපති රත්න ගමගේ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (12) රාත්‍රියේ එම ඔයේ අසබට සිට පැවැත්වූ විරෝධතාවයකින් පසුව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්න ගමගේ මහතා…
“කොග්ගල ඔය වට කරලා හොටෙල් ගහලා. ඔයට මායිම්ව බැමි දාලා. කඩෝලාන පරිසර පද්ධතිය විනාශ වෙනවා. නිතරම සංචාරක යන් රැගෙන බොට්ටු එහා මෙහා යනවා. ඒ බෝට්ටුවලින් ඔයේ ජලයට භූමිතෙල් මිශ්‍ර වෙනවා. ඒක නිසාම මාලුවලත් භූමිතෙල් රහ එනවා.
ධීවරයෝ දවසම මහන්සි වුනත් මාලු කිලෝ එකකට දෙකකට වඩා දැන් අල්ලගන්න බැහැ. කඩොලාන විනාශවීම නිසා මාලු බෝවීම අඩු වෙලා.
කොග්ගල ඔයට සී ප්ලෙන් ගොඩ බානවා. ගුවන් හමුදා කදවුරේ අධික ආලොකයක් නිකුත් කරනවා ඉන්න මාලු ටිකත් ලයිට් එලිය තියෙන පැත්තට ඇදිලා යනවා. ගුවන් හමුදා කදවුර ආසන්නයේ විශාල ප්‍රදේශයක බෝයාවල් දාලා සීමා ලකුණු කරලා ධීවරයින්ට ඒ පැත්තට එන්න දෙන්නෙත් නැහැ. ආවත් හමුදාව ධීවරයන්ව එලවනවා.
මෑතක ඉදලා කොග්ගල ඔයේ ධිවර කටයුතුවල යෙදෙන ධිවරයින්ට ගුවන් හමුදාවෙන් හැදුනුම්පතක් නිකුත් කරනවා. හැදුනුම්පත තියෙන අයට විතරයි දැන් ධීවර කටයුතුවල නිරත වෙන්න පුලුවන්.
ඔය වටේටම තියෙන හෝටල්වලින් අප ද්‍රවය මුදාහැරීම සිදුවෙනවා. ඒ නිසා ඔයේ ජලය අපවිත්‍රවෙලා තියෙන්නේ.
මෙදා අවුරුද්ධේ ධීවරයන්ට වැඩ අල්ලන නැකතෙදිත් නොනැකතේ වගේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. සුළු පන්න ධීවරයන්ට පමණක් නෙවෙයි කරදිය මිරිදිය ධීවර කර්මාන්තයේ යෙද සියළුම ධීවරයන්ට අද වෙලා තියෙන තත්වය ඕක තමයි.
මීට මාස කිහිපයකට උඩදි අපි ආචාර්ය ශම්මික ලියනගේ, වෛද්‍ය නිශාන්ත සමරවීර යන මහත්වරු සහ මාධ්‍යවේදීන් සමග කොග්ගල ඔයේ සංචාරයකද නිරත වුනා. එහිදීද මෙම සෝචනීය තත්වය අපට දැකගන්න ලැබුනා. මේ තත්වය මේ විදිහට ගියොත් ජලජ ජීවීන් විනාශවෙනවා විතරක් නෙවෙයි මේ ඔය ආශ්‍රිතව ජීවිකාව කරගෙන යන ජනතාවටද තම ජීවිත අහිමව වන තත්වයක් තමයි උදාවෙන්නේ. මේ සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් වහාම මැදිහත්විය යුතුයි”















