අසහාය ගාන්ධර්වයාණෙනි, ඔබට අපගේ ආචාරය! – සමාජවාදී කලා සංගමය

අසහාය ගාන්ධර්වයාණෙනි, ඔබට අපගේ ආචාරය! – සමාජවාදී කලා සංගමය

“කිර්තිය හා සම්මාන පසුපසම හඹායන කලා සංස්කෘතික අවකාශයක වරෙක තමාට හිමි වූ ජනාධිපති සම්මානය සඳහා තමාට වඩා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය සුදුසු බව ප්‍රකාශ කර තමාට හිමි සම්මානය ප්‍රතික්ෂේප කරමින් එච්.එම්. ජයවර්ධනයන් තම කශේරුකාව පිළිබඳ ආදර්ශ සැපයීය. සොබාදහමෙන් පවරා ගත් ස්වර රටාවකට මිනිසුන්ගේ හදවත් අවදි කළ හැකි බව අපට කියාදුන් සොඳුරු ගාන්ධර්වයාණෙනි, ඔබට අපගේ ආචාරය.” යැයි සමාජවාදී කලා සංගමය විසින් එච්.එම්. ජයවර්ධනයන්ගේ අභාවය පිළිබඳව ශෝකය පල කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

“ලාංකේය සමාජය ස්වර මාධූර්යෙන් අවදි කළ ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් අපට අහිමිව තිබේ. දශක කිහිපයක් තුළ ගී තනු විශාල ප්‍රමාණයක් නිර්මාණය කරමින්ද සංගීත සංයෝජනයේදී මානව හැඟීම් සහ සබඳතාවන් අවුළුවාලිය හැකි සංගීත භාවිතයක් ප්‍රකට කරමින්ද කලා ක්ෂේත්‍රයට ඔහු දැක්වූ දායකත්වය ලාංකේය සංගීතයේ වෙනමම කාල පරිච්ඡේදයකි. මුදල් හෝ කීර්තිය වෙනුවෙන් සිය ආත්මය පාවා නොදුන් ඉතිහාසයක් හිමි කලාකරුවෙකු වූ ඔහුගේ විශිෂ්ට ප්‍රතිභාව පරම්පරා තුනක සංගීත නිර්මාණයන්ට ආලෝකයක් විය.

71 අරගලයෙන් පසු සිර ගෙවල්වල බිත්ති මත ලියවුණු විප්ලවීය කවි විරෝධාකල්ප ගී බවට පත්කළ විමුක්ති ගී ප්‍රසංගයේ ගී තනු නිර්මාණයේදී නිහඬ කාර්යභාරයක් ඉටු කළ ඔහු ඉන් නොනැවත පසුකාලීනව විරෝධාකල්ප ගී රැසකට තනු නිර්මාණය කරමින් යුක්තිය, සාධාරණත්වය, මනුෂ්‍යත්වය සහ ආදරයෙන් පිරුණු සමාජයක් වෙනුවෙන් සිය කලා භාවිතය ප්‍රකට කළේය.

කිර්තිය හා සම්මාන පසුපසම හඹායන කලා සංස්කෘතික අවකාශයක වරෙක තමාට හිමි වූ ජනාධිපති සම්මානය සඳහා තමාට වඩා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය සුදුසු බව ප්‍රකාශ කර තමාට හිමි සම්මානය ප්‍රතික්ෂේප කරමින් එච්.එම්. ජයවර්ධනයන් තම කශේරුකාව පිළිබඳ ආදර්ශ සැපයීය. සොබාදහමෙන් පවරා ගත් ස්වර රටාවකට මිනිසුන්ගේ හදවත් අවදි කළ හැකි බව අපට කියාදුන් සොඳුරු ගාන්ධර්වයාණෙනි, ඔබට අපගේ ආචාරය.

සමාජවාදී කලා සංගමය

2019.04.09”

Facebook
Twitter
LinkedIn