ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්දියාවෙන් පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඩ් ක්වරේෂි පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටි අතර පාකිස්තාන රහස් ඔත්තු සේවා ඒ බව අනාවරණය කර ඇතැයි ද විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ලබන 16 සහ 20 අතර කාලයේ මෙම ප්‍රහාරය එල්ල කිරීමට කටයුතු කරනු ඇතැයි සැක පලවී ඇතැයි ද ක්වරේෂි මහතා පැවසීය.
කෙසේ වෙතත් ඉන්දියාව පාර්ශ්වයෙන් මෙම චෝදනාවට මෙතෙක් පිළිතුරු දක්වා නැත.
ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් පාකිස්තාන අත්අඩංගුවේ පසුවී ඉන්දියාවට මුදා හැරීමෙන් පසු දෙරට අතර යම් මිත්‍රත්වයක් වර්ධනය වෙමින් පැවතිණි. එසේම පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා සිටියේ පාකිස්තානය භාරයේ සිටින ඉන්දීය රැඳවියන් 360 කට ද නිදහස ලබාදීමට නියමිත බවය.
කෙසේ වෙතත් විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හරහා දෙරට අතර යම් අසමගියක් නැවත වර්ධනය වෙමින් පවතින බවට මත පලවී ඇත.










