ඩුබායි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු මධූෂ් ‌මෙරටට එවන බවට ‌‌පොරොන්දුවක්

ඩුබායි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු මධූෂ් ‌මෙරටට එවන බවට ‌‌පොරොන්දුවක්

මාකඳුරේ මධූෂ් සම්බන්ධව ඩුබායි නීති කටයුතු අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව ඩුබායි රජය පොරොන්දුවී තිබේ.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් පසුගිය පෙබරවාරි පස්වැනිදා ඩුබායි පොලිස් අත්ඩංගුවට පත්වූ අතර ඔහු සමඟ සිටි 31 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්විය.

කෙසේ වෙතත් මධූෂ් ලක්ෂාන් හෙවත් මාකඳුරේ මධූෂ් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් නේවාසික වීසා මත ඩුබායි රාජ්‍යයේ රැදී සිට ඇති බවට මෙතෙක් ඩුබායි පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙලිව ඇත.

ඒ අනුව ඔහුට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ වීසා බලපත්‍රයක් භාවිත කරමින් ඩුබායිහි ආගමන විගමන නීති උල්ලංගනය කර ඇති බවට චෝදනා එල්ලවී ඇති අතර ඒ සම්බන්ධව ඩුබායි නීතිය ක්‍රියාත්මක වෙමින් ඇත.

මේ අතර මාකඳුරේ මධූෂ් මෙරට පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවත් ඔහු මෙරටට කැඳවා නීතිය ක්‍රියාත්මක කළයුතු බවටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු කණ්ඩායමක් පසුගිය දා ඩුබායි වෙත පිටත්ව ගිය අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අන්වර බින් මොහොමඩ් හමුවී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලබාදුන් ලිපියක් ඔහුවෙත භාරදී ඇත.

එහි සඳහන්ව ඇත්තේ පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැකකරන මාකඳුරේ මධූෂ් නැමැත්තාට නීතිය ක්‍රියාත්මක කිරීමට මෙරටට ලබාදෙන ලෙසය.

කෙසේ වෙතත් ඩුබායි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව ඩුබායි විදේශකටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

මේ අතර නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය බල නොපාන බවයි. ඔහු ඒරට රැදී සිට ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍ර සහ ව්‍යාජ නමකින් පෙනීසිටින ලිපි ලේඛන සහිතව බැවින්  ඔහුට උදර්පන නීතිය බල නොපාන බව ඔවුන් පවසයි.

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 31 දෙනෙකුගෙන් මේ වනවිට 13 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර ඉතිරි පිරිස ගැන තවදුරටත් නීතිය ක්‍රියාත්මක වෙමින් ඇත.

Facebook
Twitter
LinkedIn