මුලසුන ශිරාණිට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට අභිනවයෙන් පත් වූ උපුල් ජයසූරිය මහතාගේ පදවිප්‍රාප්තිය නිමිත්තෙන් කොළඹ නව රඟහලේ පෙරේදා පැවැති උළෙල, රජය විසින් දෝෂාභියෝගයක් මඟින් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරනු ලැබූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මේ අතර අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට මෙම උත්සවයට ආරාධනා කර නොමැත. නීතිඥ සංගමයේ වසර 39ක ඉතිහාසයේ, අගවිනිසුරු ධුරය දරන පුද්ගලයාට ආරාධනා නොකර පැවැත්වූ ප්‍රථම පදවිප්‍රාප්ත උළෙල ලෙස මෙය ඉතිහාස ගත වන බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියද නීතිඥ සංගමයේ ආරාධනාවක් අනුව මෙම උළෙලට සහභාගි වූ අතර අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතාටද මේ සඳහා ආරාධනා කර නොමැත.

ආරාධිත අමුත්තන් දෙදෙනා උත්සව ශාලාවට කැඳවාගෙන ගිය විගසම එහි අසුන් ගෙන සිටි නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රධාන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරු උත්සව ශාලාවෙන් පිටව ගියහ.

නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ පදවිප්‍රාප්ත උළෙලේ සාම්ප්‍රදායික චාරිත්‍රය වනුයේ නීතිපතිවරයා විසින් සභාපතිවරයා උත්සව ශාලාවේ මුල්පුටුවට ආරාධනා කරනු ලැබීමයි. එහෙත් මෙම උත්සවයේදී නීතිපතිවරයා හදිසියේම ඉන් පිට වී යෑම කාගේත් කුතුහලයට හේතුවක් විය. උත්සවයේ ප්‍රධාන දේශනය කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී. වී. විග්නේෂ්වරන් මහතා සිය කතාවේදී කියා සිටියේ නීතිපතිවරයා සාම්ප්‍රදායිකව ඔහුට පැවැරී ඇති කාරිය ඉටු කරනු ඇති බවය.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම රටේ යුක්තිය පසිඳලීම වැළැක්වීමට පියවර ගැනීමක් ලෙස හැඳින්විය හැකි යැයිද විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.

වානේ පන්නරය ලබන්නේ ගිනිදැල් මගින් බවත් මහජනයාට අධිකරණය කෙරෙහි විශ්වාසයක් ඇති වන්නේ විනිසුරුවරු කිසිදු බලපෑමකට යට නොවී නීතියට එකඟව සිය යුතුකම ඉටු කරන බව හැඟී ගියහොත් පමණක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn