අසූපහේදී වේදිකාවට ආ “මායාදේවි” අවුරුදු විසිඅටකට පසු යළි අප වෙත පැමිණ සිටින්නීය. කේ. බී. හේරත්ගේ පළමු වේදිකා නාට්‍ය ලෙස සැලකෙන “මායාදේවි” රංගගත කිරීම අසූපහේදී අරඹා අනූදෙකේදී නතර කරනු ලැබීය. නැවත්ත “මායාදේවි” වේදිකාවට ගෙනඒම සම්බන්ධයෙන් කේ.බී. හේරත් මහතා සමග සති අන්ත පුවත් පතක් සිදුකළ සංවාදයෙන් උපුටාගන්නාලදදක් මෙසේ පළකරමි සිටිමු.
මායාදේවි ඇයි යළි වේදිකාවට එන්නේ?
කරුණු කීපයක් උඩ. මම මීට කලින් කළ නාට්‍ය පහක් සමඟ මේ වසර අවසානයේදී උළෙලක් පවත්වනවා. ඊට මායාදේවි, කලුකුමාරි, ජගත්මා සහ මා මීට පෙරදී කළ දොaන කතිරිනා, යසෝදරා කියන නාට්‍ය පහ ඇතුළත්. මායාදේවි නැවත කිරීමේ අනෙක් අරමුණ තමයි මේ නාට්‍යයේ ප්රශස්ත වූ කරුණ පටන් ගන්නේ විවෘත ආර්ථිකය ආරම්භවූ අවධියේදී. එදා අපේ නාට්‍යයෙන් කතා කළා විවෘත ආර්ථිකය නිසා අනාගතයේ වියහැකි අහිතකර ප්‍රතිඵල. අද ඒ අනතුර ඇස් පනාපිටම සිදුවෙලා. එනිසා මේ නාට්‍යයේ අදාළත්වය තව තවත් වැඩි වුණා.
මොනවද මේ නාට්‍යයෙන් කතා කරන්නේ?
භෞතික සම්පත් අයිතිකර ගැනීමට මිනිසුන් රැවටීම සහ ඉන් මිනිස් සබඳතාවන්ට සිදුවන විනාශය මායාදේවි තුළින් සාකච්ඡා කරනවා. නව ආර්ථික රැල්ලත් එක්ක තමයි දැන් රැවටීමේ ගාමික බලවේගය එන්නේ. නව ලිබරල් ධනවාදී අර්ථ ක්‍රමයත් එක්ක මෙගා ටෙලිනාට්‍ය, රියෑලිටි වගේ ගැඹුරු රසවින්දනයක් නොමැති නිර්මාණ දකිනවා. මේ සඳහා භාවිත කරන්නේ පශ්චාත් නූතනවාදය. ඒ තුළ හරයක් නැති ක්ෂණිකව හැඩවන, ක්ෂණිකව සිනාගන්වන දේ ව්‍යාප්ත වෙනවා. ඒ එක්ක මිනිසුන් රැවටීමකට ලක්කරනවා. මේ නාට්‍යයෙන් කතා කරන්නේ ඒ ගැනයි.
ඇයි මායාදේවි කියා කියන්නේ?
ඒකට හේතුවක් තියෙනවා. හින්දු දේවවාදයේ ඇති චරිත තමයි මේ නාට්‍යයේ චරිත නවයෙන් සංකේතවත් වෙන්නේ. මේවා අපි ඇස්පනාපිටම එදිනෙදා දකින චරිත. උදාහරණයක් කියනවා නම් ලෝකය මවා ඇත්තේ බ්‍රහ්මයා විසින්, ලෝකය පවත්වාගෙන යන්නේ විෂ්ණු දෙවියන් වගේම ලෝකය විනාශ කරන්නේ ශිව දෙවියන් බව කියා දේවවාදයේ දැක්වෙනවා. විෂ්ණුට ලක්ෂ්මි සහ සරස්වතී නමින් බිරියන් දෙදෙනෙක් ඉන්නවා. ශිවට දුර්ගා සහ කාලි නමින් බිරියන් දෙදෙනෙක් ඉන්නවා. මේ නාට්‍ය තුළත් ඉන්නේ මුදලාලිලා. මුදලාලි හාමිනේලා. පෙර කී දේම චරිතවලට මේ එක් එක් චරිත ගලපලා තියෙන්නේ. ඒ අර්ථයෙන් තමයි මේ නාට්‍යය මායාදේවි වෙන්නේ.
මේ ඔබේ කීවෙනි නාට්‍යයද?
මායාදේවි තමයි කොළඹ ඇවිත් මා කළ පළමු නාට්‍යය. ඊට කලින් “සුදු කරල්” නමින් රාජ්‍ය නාට්‍ය උළෙලට එකක් කළා ප්‍රාදේශීය ශිල්පීන් යොදාගෙන. ඒත් කොළඹ ප්‍රධාන ධාරාවේ නළු නිළියන් සමඟ කළ පළමු නාට්‍ය තමයි මායාදේවි. අනෙක මේ නාට්‍යය ඓතිහාසික ලෙස “දිවයින” පත්‍රයටත් වැදගත් වෙනවා. අසූපහ වසරේදී දිවයින පත්‍රය පැවැත්වූවා සම්මාන උළෙලක් “සාම නාට්‍ය උළෙල” නමින්. ඒ උළෙලේ හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම රචනය සහ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මාන ලබාගත්තේ මායාදේවි.
පිටපත එදා එකමද?
ඔව්. සුළු වෙනස්කම් කීපයක් තියෙනවා. මූලික හරයේ වෙනසක් නෑ.
ශිල්පීන් එදා අයමද?
කිහිපදෙනෙක් එදා රඟපෑ අයම තමයි. ජයලත් මනෝරත්න, රත්නා ලාලනී ජයකොඩි, නිශ්ශංක දිද්දෙනිය වගේම පසුගියදා පැවැති පළමු දර්ශනයට අජිත් ජිනදාස එක්වුණා. ඔහු යළි විදේශගත වූ නිසා මින් ඉදිරියට ඔහු රඟන එකක් නෑ. ඊට අමතරව අලුතින් චාන්දනී සෙනෙවිරත්න, නිලන්ති හීන්දෙනිය සහ දිමුතු චින්තක නාට්‍යයට එක්වෙනවා.
ඔබ කී මේ වසර අවසන පවත්වන උළෙලින් පසු මායාදේවි යළි නතර වේවිද?
ඇත්තටම ටෙලිනාට්‍යකරුවකු ලෙස තමයි ජනතාව මාව දන්නේ. ඒත් මගේ ජීවිත කාලයම කැපවුණේ වේදිකාවට. ස්වතන්ත්‍ර වැඩියෙන්ම ලියන රචකයා මම. අපි හැට දෙකේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා. පරිවර්තනයක් කිරීමේ අපහසුතාවක් මට නෑ. ඒත් මම කළේ ස්වතන්ත්‍ර නාට්‍ය. මගේ ස්වතන්ත්‍ර පිටපත් නවයක්ම හොඳම නාට්‍ය ලෙස රාජ්‍ය සම්මාන ලබාගෙන තියෙනවා. ඒත් කලාකරුවන් ලෙස අප පසුකරන එක් එක් කාලයන් තුළ සිදුවන දේ ග්‍රහණය කරගත හැකි දේ අලුත් නිර්මාණයකට යොමුකර ගත හැකියි. උදාහරණයක් තමයි පශ්චාත් යුද සමය තුළ ඇති වූ තත්ත්වයන් කලා කෘතිවලට යොමු කරන්නෙ නෑ. අශෝක හඳගම තමයි “ඉනියවන්” තුළින් යම් දුරකට හෝ මේ තත්ත්වය ග්‍රහණය කරගත්තේ. ඉන් පෙනෙනවා තත්කාලීන මාතෘකා ඔස්සේ අලුතින් කලාකෘති නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව.









