අධිනීතිඥ ප‍්‍රින්ස් ගුණසේකර මහතාගේ අභාවය පිළිබඳ ජවිපෙ සංවේගය පළ කරයි

අධිනීතිඥ ප‍්‍රින්ස් ගුණසේකර මහතාගේ අභාවය පිළිබඳ ජවිපෙ සංවේගය පළ කරයි

“අධිනීතිඥ ප‍්‍රින්ස් ගුණසේකර මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩයයි

ශ‍්‍රී ලංකාවේ වමේ හා ප‍්‍රගතිශීලී කඳවුර නියෝජනය කළ දේශපාලනඥයෙක් වූද, ප‍්‍රබල මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් වූද, අධිනීතිඥ ප‍්‍රින්ස් ගුණසේකර මහතාගේ අභාවය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සිය බලවත් සංවේගය පළකර සිටී.

ප‍්‍රින්ස් ගුණසේකර මහතා හා ජනතා විමුක්ති පෙරමුණ අතර පැවැති සම්බන්ධය 1970 දශකයේ ආරම්භය දක්වා දිවෙන්නකි. ඔහු දිගු කලක් තිස්සේ ජවිපෙ සමගත් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා සමගත් සමීප සබඳතාවයක් පවත්වාගෙන ගියේය.

1970 මැතිවරණයේදී ශ‍්‍රී.ල.නි.ප මන්ත‍්‍රීවරයෙක් ලෙස හබරාදූව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුවද 1971 අරගලයේදී ඔහු ජවිපෙ මර්දනය කිරීමට එරෙහිව කටයුතු කළේය. 71 අරගලය පවතින සමයේ බ්‍රිතාන්‍ය සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් වූ ඇවබරි සාමිවරයා ලංකාවට පැමිණි විට ඔහු සමඟ දකුණේ ප‍්‍රදේශවල සංචාරය කළේ ප‍්‍රින්ස් ගුණසේකර මහතාය.

එසේම 1971 අරගලයේදී සිරගතවූවන් වෙනුවෙන් නීති ආධාර ලබාදීමට ඔහු ඉදිරිපත් විය. එතැන් සිට දිගටම ජනතා විමුක්ති පෙරමුණේ නීතිමය කටයුතුවලදී ඔහු ලබාදුන් සහාය විශාලය.

1977න් පසු ජ.වි.පෙ. ප‍්‍රසිද්ධ දේශපාලන තලයේ සක‍්‍රීය වෙද්දී ප‍්‍රින්ස් ගුණසේකර මහතා ජ.වි.පෙ. සමඟ එක්ව බොහෝ අවස්ථාවල කටයුතු කළේය. 1978 කාලයේ ලංකාව පුරා පැතිර ගිය ජාතිවාදී කෝලාහලවලට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් ජවිපෙ රටපුරා පැවැත්වූ ප‍්‍රසිද්ධ රැලි මාලාවේදී ඔහුද කථිකයෙක් විය.

1982 ජනාධිපතිවරණයට රෝහණ විජේවීර සහෝදරයා සටන්වදින විට ඔහුගේ නීති උපදේශක ලෙස කටයුතු කළේද ප‍්‍රින්ස් ගුණසේකර මහතාය. එසේම 1982 දෙසැම්බර් පැවැති ජනමතවිචාරණ ඡන්ද මංකොල්ලයට එරෙහිව නඩු පැවරීමට ජවිපෙ තීරණය කළ විට රෝහණ විජේවීර සහෝදරයා වෙනුවෙන් එම නඩුව ගොනු කිරීමේ කාර්යය භාරගත්තේද ප‍්‍රින්ස් ගුණසේකර මහතාය. එසේම එම නඩුව සඳහා කලක් ජ.වි.පෙ.ට විරුද්ධ කඳවුරේ සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සම්බන්ධ කර දීම කළේද ඔහුය.

1983 මුල පැවැති අතුරු මැතිවරණවලදී ඔහු හබරාදූව ආසනයට ස්වාධීනව තරඟවදින විට ජවිපෙ එයට තරඟ නොවැදී ප‍්‍රින්ස් ගුණසේකර මහතාට සහය දැක්වීය. ඒ ඔහු සමඟ තිබූ සමීප දේශපාලන සබඳතාවය නිසාය.

1983 ජවිපෙ මර්දනය කිරීමෙන් පසු ඇතිවූ මර්දනකාරී තත්වය තුළද ප‍්‍රින්ස් ගුණසේකර මහතා ජවිපෙට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය. එවකට පැවැති එජාප පාලනය මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරන විට මානව හිමිකම් රැකීම සඳහා ඔහු විශාල කාර්යභාරයක් කළේය. අවසානයේ ප්‍රේමදාස පාලනය තුළ මානවවාදී නීතිඥයින් පවා ඝාතනය කරන විට සිය ජීවිතය බේරාගැනීම සඳහා රටින් පිටවීමට ප‍්‍රින්ස් ගුණසේකර මහතාට සිදුවිය. ඔහු විදේශගතව ලන්ඩනයේ සිටියදී පවා හැකි හැම විටම ජවිපෙට උදව් කළේය.

ප‍්‍රින්ස් ගුණසේකර මහතා ප‍්‍රතිපත්තිගරුක මිනිසෙක් විය. මානවවාදී මිනිසෙක් විය. අයුක්තිය අසාධාරණය හමුවේ මුනිවත රකිනවා වෙනුවට ඊට එරෙහිව හඬ නැගීය. සෑම විටම ඔහු ගෞරවයෙන් සිහිපත් කළ යුතු වන්නේ ඒ නිසාය.

අවසාන වශයෙන් ඔහු අපෙන් සමුගෙන තිබෙන මේ මොහොතේ ඔහුගේ පවුලේ සියළුදෙනා වෙත අපගේ බලවත් ශෝකය පළකරන අපි අධිනීතිඥ ප‍්‍රින්ස් ගුණසේකර මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ගෞරවාචාරය මෙසේ පුදකර සිටිමු.

දේශපාලන මණ්ඩලය

ජනතා විමුක්ති පෙරමුණ

2018.12.31”

Facebook
Twitter
LinkedIn