සේනා දළඹුවා නිසා බඩඉරිඟු ඇතුළු වගාවන් රැසක් විනාශ වෙමින් තිබෙන තත්වයක් තුළ මේ වනවිට තක්කාලි වගාවටද හඳුනා නොගත් දිලිරයක් යැයි සැක කළ හැකි රෝගයක් පැතිර යමින් තිබෙන බව වාර්තා වේ.
මාතලේ දිස්ත්රික්කයේ පල්ලේපොල, යටවත්ත, දීවිල්ල, රුසිගම, වල්මෝරුව ආදී තක්කාලි වගා කරන ප්රදේශවල හඳුනා නොගත් රෝගයක් පැතිර යෑම නිසා අක්කර දහස් ගණනක තක්කාලි වගාව දිනපතාම විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසති.
තක්කාලි වගාවේ ඵල හට ගැනීමත් සමඟ එක වරම දිවා කාලයේ මෙම ගස් මලානිකව පසුව ගස මිය යෑම සිදුවන බවත් හටගත් ගෙඩිවල යම්කිසි දිලීර වර්ගයක් පැතිර යෑම සිදු වෙන බව ගොවීහු පෙන්වා දෙති.
මෙතෙක් කිසිදු කෘෂිකර්ම නිලධාරීවරයෙකු සොයාබැලීමක් සිදුනොකළ බවත් වෙළඳසැල් හිමියන්ගේ උපදෙස් පරිදි කෘමිනාශක වර්ග යෙදුවද ඉන් එකක් හෝ ඔරොත්තු නොදෙන බවද ගොවීහු පවසති.
මේ වනවිටත් අක්කර දහසකට අධික ප්රමාණයක් මෙම රෝගයට ගොදුරු වී තිබෙන බව පල්ලේපොල රුසිගම ප්රාදේශයේ ගොවීහු පවසති.
තක්කාලි වගාවේ එක දිනකට ගස් විශාල ප්රමාණයක් මෙයාකාරයෙන් විනාශයට ලක්වන බවත් දිනෙන් දින මෙම විනාශවන තක්කාලි වගාව ආරක්ෂා කරගැනීම සඳහා කුමන හෝ පිළියමක් ලබා දෙන්නැයි පල්ලේපොල වල්මෝරුව ප්රදේශයේ තක්කාලි ගොවීහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.
තක්කාලි වගාවේ අස්වැන්න නෙලීමට ආසන්නව තිබෙන වකවානුවක මෙයාකාරයෙන් දරුණු වසංගත රෝගයක් මින් ඉහතදී වැළඳී දැක ගැනීමට නොහැකි වූ බවත් මෙම කන්නයේදී පමණක් මෙම රෝගය දැකගැනීමට හැකිවූ බව ගොවීහු වැඩිදුරටත් සඳහන් කරති.
මේ පිළිබඳව අවධානය යොමුකොට තක්කාලි වගාව බේරා නොදුනහොත් මෙවර කනකර බඩු උගසට තබා වගාකළ තක්කාලි සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බවත් ඉදිරියේදී රට පුරාම තක්කාලි ඉතා ඉහළ මිලකට අලෙවි වීම සිදු වෙන බවද ගොවීහු පෙන්වා දෙති.










