ඩොලරය යලි රුපියල් 183 ඉක්මවයි

ඩොලරය යලි රුපියල් 183 ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකිණුම් මිල අද(26) 183.17ක් ලෙස දැක්විණි. එහි ගැනුම් මිල රුපියල් 179.2ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකු නිකුත් කළ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල 15.5%කින් අවප්‍රමාණය වී ඇත. කෙසේ නමුත් මේ වසරේ මේ දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  18.2%කින් අවප්‍රමාණය වී තිබේ.

පසුගිය මාසයේ අග භාගය වනවිට ශ්‍රී ලංකා රුපියලේ යම් නැගීමක් සිදුවුවද ඔක්තෝබර් 26වැනිදායින් පසු මෙරට දේශපාලනයේ ඇතිවූ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් විදේශිකයන් සහ ආයෝජකයන් බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළවල්වලින් විදෙස් අරමුදල් ඉවත් කරගනිමින් සිටීම රුපියලේ අවප්‍රමාණවීමට සෘජුව බලපා ඇතැයි රොයිටර් පුවත් සේවය දක්වයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලායෑම සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විනිමය වෙළෙඳපොළ තුළ පැවැති ඉල්ලුම යනාදි කරුණු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට වැඩි වශයෙන් බලපෑවේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn