“රනිල්ට බහුතරය නැති බව අද පෙනුනා”

පාර්ලිමේන්තුවේ අද (12) පැවැත්වුණ ඡන්ද විමසීමෙන් පැහැදිලිවම පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නැති බව යැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (12) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

හිටපු අගමැතිවරයාට සහය පළකිරීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවට ඡන්ද 117ක් ලැබුණු බවට කතානායකවරයා විසින් නිවේදනය කළද ඉන් ඡන්ද 14ක් එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්නොවන බව පවසන ද්‍රවිඩ ජාතික සංධානයේ ඡන්ද යැයිද මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට සැබෑවටම ලැබුනේ ඡන්ද 103ක් පමණක් යැයිද කී මන්ත්‍රීවරයා ඒ අනුව තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ සහය තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය කරනු ලබන ප‍්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවද දිනේෂ ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.

දිනේෂ් ගුණවර්ධන මහතා එසේ ප්‍රකාශ කළද ඩලස් අලහප්පෙරුම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි මහින්ද පිලේම මන්ත්‍රීවරු සඳහන් කර සිටියේ ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල්වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා කොන්දේසි ඇතුළත් ලියවිල්ලකට අත්සන් ලබා ගෙන ඇති බවත්, උතුරු නැගෙනහිර වෙන ප්‍රාන්තයක් පිහිටුවීමට සූදානම් බවත්ය.

දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එකම ආණ්ඩුවකට කැමැත්ත පල කර ඇති බැවින් දෙමළ ජාතික සන්ධානය සතු විපක්ෂ නායක ධුරය මහින්ද පිලට අවශ්‍ය බවද ඔවුන් සඳහන් කළේ ය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශ අනුව පෙනී යන්නේ මොවුන් තුළ යම් පොදු සමුතියක් නොමැතිව ඔවුනොවුන් විවිධ ප්‍රකාශ සිදු කමින් සිටින බවය.

Facebook
Twitter
LinkedIn