ජාතියට – ආගමට මුවාවී සිටින ජනතාවගේ සතුරන් හඳුනාගැනීම අසීරුයි… එත් හඳුනාගත යුතුයි…

ජාතියට – ආගමට මුවාවී සිටින ජනතාවගේ සතුරන් හඳුනාගැනීම අසීරුයි… එත් හඳුනාගත යුතුයි…

එදා නිදහස් සටන්වල නිරත වීමේදී ඒ සටන් මර්දනය කළ සතුරන් හෝ අධිරාජ්‍යවාදීන් හඳුනා ගැනීමට පහසු වුවද වත්මන් යුගයේ ජනතා අරගලවලට එරෙහිව වන සතුරන් හඳුනාගැනීම දුෂ්කර කාර්යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එය දුෂ්කර කාර්යයක් වනුයේ ඔවුන්ද බුදු දහම හා දේශප්‍රේමීත්වය පිළිබඳ කතා කරමින් ජාතික ඇඳුමින්ද සැරසී සිංහල අනන්‍යතාව අනුව ජීවත් වන පිරිසක් වන නිසා යැයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් දැක්වූයේ අගෝස්තු 26 දිනට යෙදී තිබූ ජාතික භික්ෂු දිනය වෙනුවෙන් පසුගියදා (28) කොළඹ  තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවති “පරාධීනත්වයට එරෙහිව දේශයට මඟ කියන කුඩාපොළ හිම ආදාර්ශය” සමරු වැඩසටහනටඑක් වෙමිනි. මෙහිදී “කුඩාපොළ ශ්‍රී රාහුල හිමි” කෘතියේ දෙවැනි මුද්‍රණය එළිදැක්වීමද සිදු කෙරිණි. ඊට සමගාමීව පැවැත්වූ දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහී සාමණේර හිමිවරුන් සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.

එම අවස්ථාව ඇමතූ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීය.

“අපිට තවමත් නිදහස දිනාගැනීමේ අරගලයක් තිබෙන බව මං හිතනවා. 2018 අවුරුද්දට හරියටම 1818 කැරැල්ල සිද්ධ වෙලා වසර 200ක් පිරෙනවා. එවන් පසුබිමක කුඩාපොළ හිමි කියන වීරෝදාර භික්ෂු චරිතය ඇගැයීමේ අවස්ථාවක් සංවිධානය කර තිබීම ගැන සතුටු වෙනවා.

කුඩාපොළ හිමියන් නිදහස් අරගලයේ නියැළුණු අවස්ථාවේදී සහ වර්තමානයේ සටන්වල පොඩි වෙනසක් තියෙනවා. එදා අරගල කරන්න අපට වඩා දුෂ්කරතාවන් තිබුණා වගේම අපිට නොතිබුණු වාසියක් තිබ්බා. ඒ වාසිය තමයි අපේ රට යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීන් හඳුනා ගන්න පහසුවක් තිබුණා.

ඔවුන් කතා කරේ වෙන භාෂාවක්, ඇදහුවේ වෙන ආගමක්. ඇන්දේ වෙන ඇඳුමක්. හැඩය වෙනස් පරදේසක්කාරයෝ කියලා හඳුනගන්න පුළුවන්කම තිබුණා. නමුත් අද අපිට එහෙම නෙවෙයි. අද අපිව යටත් කරගෙන ඉන්න සහ යටත් කරගෙන යන සතුරන්ව හඳුනාගන්න අමාරුයි. මොකද ඒගොල්ලොත් කතා කරන්නේ අපේ භාෂාවමයි.

අපි අදහන ආගමම අදහනවා. පන්සල් යනවා. සමහරු වැඩිපුර ඉන්නෙත් පන්සල්වල. ඒ ගොල්ලෝ කෝවිල් පල්ලිත් යනවා. ජාතික ඇඳුමත් අඳිනවා අපිට වඩා ටිකක් වෙනස්ව ඉන්න. එතකොට හොයාගන්න හරි අමාරුයි. බුදු දහම ගැනත් දේශප්‍රේමීත්වය ගැනත් කතා කරනවා. හැබැයි ඒ ඔක්කොම කරන අස්සේ රට නොරටුන්ට විකුණාගෙන යනවා. රටේ නිදහස අහිමි කිරීමට කටයුතු කරගෙන යනවා.

ඒ නිසා අපේ යුගයේදී නිදහස දිනා ගැනීමේ අරගලවලට බාධා කරන අයව හඳුනා ගැනීමේ දුෂ්කරතාවක් තියෙනවා. ඒක හරියට හඳුනා ගත්තේ නැත්තම් අපිට අනියම් ලෙස යටත් වූ රාජ්‍යයක දිගටම ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා කුඩාපොළ හිමියෝ ආදර්ශය සහිතව කටයුතු කරන ස්වාමීන්වහන්සේට විශාල වගකීමක් තියෙනවා අරගලවලට සම්බන්ධ වෙලා අරගලවලට බාධා කරන අයව ජනතාවට හඳුන්වල දෙන්න.

අපි කවුරුත් දන්නවා අපේ රට අවුරුදු 450ක් අධිරාජ්‍යවාදීන් යටත් කරගෙන හිටියා. 1948දී තමයි සුද්දන්ගෙන් නිදහස ලැබුණේ. නමුත් ඇත්තටම 1948දී නිදහස ලැබුණේ නැහැ. එදත් කරේ අපේ රට ආර්ථික, දේශපාලන, නෛතික බැඳීමක් තියාගෙන ඔවුන් වෙනුවෙන් අපේ රට පාලනය කරන ඒජන්තවරු කණ්ඩායමකට භාර දුන්න එකයි.

ඒ ඒජන්ත කණ්ඩායම එකිනෙකාට වෙනස් වුණත් ඔවුන්ම තමයි තවම පාලනය කරන්නේ. කලින් ඒ අය බ්‍රිතාන්‍යයේ ඒජන්තවරු වෙලා හිටියා. පහුකාලෙක එක්සත් ජනපදයේ ඒජන්තවරු විදියට කටයුතු කළා. දැන් සමහරු චීනයේ, ඉන්දියාවේ ඒජන්තවරු විදියට කටයුතු කරනවා. ඒ නිසා අපේ නිදහස් අරගලය තාම ඒ විදියටම තියෙනවා.”

මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියෝ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුල සමරකෝන් මහතාද මෙහිදී දේශන පැවැත්වූහ.

පහන් විජේසේකර, ගල්කිස්ස – ජානක ගෝමස් – මව්බිම

 

 

Facebook
Twitter
LinkedIn