විමල්ගේ ගෝලයා පාර්ලිමේන්තු භාෂා පරිවර්තකටත් පහරදෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව නියෝජනය කරන, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් ප්‍රියන්කර මහතා විසින් පාර්ලිමේන්තු භාෂා පරිවර්තක ආනන්ද කරුණාරත්න මහතාට දැඩිසේ පහරදී ඇතැයි වාර්තාවේ.

පහරකෑමෙන් අසාධ්‍යවූ ආනන්ද කරුණාරත්න මහතා මේ වනවිට මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

අද (09) වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් දික්වෙල මාර්ගය පුළුල් කිරීමට අවශ්‍ය ඉඩම් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාත් ප්‍රාදේශීය සභා සභාපතිවරයාත් භාෂා පරිවර්තකවරයාත් එක්ව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ.

මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවී ඇත්තේ පාර්ලිමේන්තු භාෂා පරිවර්තකවරයාට අයත් පර්චර්ස් 13ක ඉඩමෙන් කොටසක් පමණක් මෙම පාර පුළුල් කිරීම සඳහා යොදාගැනීම සම්බන්ධවයි. එහිදී භාෂා පර්වර්තකවරයාගේ යෝජනාව වී ඇත්තේ පාර දෙපැත්තේම ඇති ඉඩම්වලින් පාරට අවශ්‍ය ප්‍රමාණය සාධාරණව ලබා ගන්න යන්නයි.

පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා‍ගේ ඥාතිවරි‍යකට අයත් ඉඩමේ කොටසක් පාරේ එක් පැත්තකට සීමාවී ඇති බැවින් එයින් කොටසක් පාරට ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාද විරුද්ධවී තිබේ.

තම ඉඩමේ කොටසට වන්දි හෝ අවශ්‍ය නැති බවත් තමාගේ ඉඩමෙන් කොටසක් පමණක් ඒ සඳහා වෙන් කිරීමට තමන් විරුද්ධ බව භාෂා පරිවර්තකවරයා පවසා ඇත.

එම විරෝධය හමුවේ දැඩිසේ කෝපවී ඇති ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා භාෂ පරිවර්තකවරයාට පහරදී තිබේ. භාෂා පරිවර්තකවරයාගේ මහුණට හා පපුවට ඉතා අමානුෂික ලෙස පහරදී ඔහු හැද සිටි කමීසයද ඉරා ඇත.

පසුව සභාපතිවරයා මැදිහත්වී මන්ත්‍රීවරයාව එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියට පැමිණිලිකර ඇති නමුත්  ජනිපෙ මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Facebook
Twitter
LinkedIn