ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආයුර්වේද කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ, නිල ඇදුම් දීමනාව රු.8000/= ලබානොදීම, පුරප්පාඩු නොපිරවීම, උසස්වීම් ලබානොදීම, කාර්ය මණ්ඩල හිඟයට හා ඖෂධ හිඟයට විසදුම් ලබානොදීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 07 ක් මුල් කරගෙන දෙසැම්බර් 10 දින සිට ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයකට යාමට තීරණය කර ඇති බවයි.
මධ්‍යම රජයේ රෝහල්වලින් මෙම වර්ජනය දෙසැම්බර් 10 දින ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහල, නාවින්න, යක්කල, අම්පාර සහ යාපනය යන ආයුර්වේද රෝහල් මෙම ක්‍රියාමාර්ගයට සහභාගී වන බවත් ඔහු පවසයි.
මේ වනවිටත් මාස 02 ක් තිස්සේ ඉහත රෝහල්වල කාර්ය මණ්ඩලය මෙම ඉල්ලීම් ලබානොදීමට එරෙහිව සිවිල් ඇදුමින් සැරසී සේවය කරති. එහෙත් ඒ කිසිදු ක්‍රියාමාර්ගයක් සැලකිල්ලට නොගන්නා ආණ්ඩුව ආයුර්වේද කාර්ය මණ්ඩලයේ ගැටලු විසදීම මගහරිමින් සිටී.
එබැවින් ඉහත ඉල්ලීම් ලබාදෙන තුරු වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සංගමය තීරණය කර ඇති බවත් තවදුරටත් ඉල්ලීම් ලබාදීම ප්‍රමාද වන්නේ නම් පළාත් සභා රෝහල්ද වර්ජනයට එක්කර ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. එබැවින් තවදුරටත් කල් නොදමා ඉහත ඉල්ලීම් ලබාදීමට ආණ්ඩුව සහ බලධාරීන් පියවර ගතයුතු බවත් මෙම වර්ජනයේදී සිදුවන සියලු රෝහල් සේවා බිදවැටීම්වල වගකීම ආණ්ඩුවේ බලධාරීන් බාරගත යුතු බවද ගාමීණී කුමාරසිංහ මහතා අවධාරණය කරයි.









