කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලද ආධාර මත ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) සිට සේවා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරමින් පවතින බව වාර්තා වේ.
මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මස 24 දින ගුවන් මඟින් ශ්‍රී ලංකාවට ගෙන් වූ අතර එය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.
කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ සියලු මාධ්‍ය ආයතනවල මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලදී.
ඉන් පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගන්නා ලදී.
රුපියල් මිලියන 202ක් වැය කරමින් මෙම යන්ත්‍රය මිල දී ගෙන ඇත.
මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනා ගත හැකි අතර මසකට ස්කෑන් 100කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිය.
අප්‍රේල් මස 01 දායින් පසු සේවා කටයුතු ආරම්භ කිරීමත් සමඟ පිළිකා රෝගීන්ගේ සත්කාරක සේවා තවත් වැඩි කළ හැකි බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විල්ප්‍රඩ් කුමාරසිරි මහතා ප්‍රකාශ කරයි.
ජර්මනියේ සීමන්ස් ආයතනයේ ඉංජිනේරුවන් පැමිණ යන්ත්‍රය සවිකර ඇති අතර ඔවුන් මේ දිනවල එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරමින් සිටිති.
එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ දරුවෙකු පිළිකා රෝගයට ගොදුරු වී සිටි අතර එහිදී මෙවැනි යන්ත්‍රණයක් රජයේ රෝහලක් තුළ නොමැති වීම හේතුවෙන් ඔහු මුහුණ දුන් කණගාටුදායක තත්වය වෙනත් රෝගීන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට අත්වීමට ඉඩ නොදීමේ අරමුණෙන් ඒ මහතා විසින් පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අරමුදලක් පිහිටුවීමට මූලික වන ලදී.















