ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 7ක් මරුට 20කට තුවාලයි

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 7ක් මරුට 20කට තුවාලයි

අද (04) අළුයම 2.30ට පමණ බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ, ‘ලන්ඩන් පාලම’ අසලත් ‘බරොව් මාර්කට්’ ආසන්නයේත් සිදුව ඇති ත්‍රස්ත ප්‍රහාර දෙකෙන් 07දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරය ස‍ඳහා තිදෙනකු පැමිණ ඇතැයි දැනට වාර්තා වන අතර ලන්ඩන් පාලම මත සිටි මිනිසුන් වෙත වෑන් රථයක් කඩා වැදී ඔවුන් යට කර ඇතැයි ද වෙඩි තැබීම් සිදුවීම් සහ පිහි ප්‍රහාර එල්ල කළ බවට ද වාර්තා වන බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

සිදුවීම වූ ස්ථාන දෙක ආසන්නයේ පයින් ඇවිද යා හැකි දුරක තිබුණ ද ප්‍රහාර දෙක අතරේ සම්බන්ධයක් තිබේදැයි යන්න තවමත් කිව නොහැකි බව ද ලන්ඩන් පොලිසිය කියයි.

මෙම බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකුට අනතුරක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා තහවුරු කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලය සහ බෝම්බ පිපිරීම සිදුවූ ලන්ඩන් පාලම අතර සැතපුම් දෙකකට ආසන්න දුර ප්‍රමාණයක් පවතින බවද පැවසේ.

අනතුරු ඇඟවීම් නිකුත් කළ බ්‍රිතාන්‍ය බලධාරීහූ මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ප්‍රකාශ කරයි. මධ්‍යම ලන්ඩනයේ සහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂාව තර කිරීමටද බලධාරීහූ කටයුතු කර ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම බලධාරීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලන්ඩන් වැසියන්ට, ”දුවන්න, සැඟවෙන්න, කියන්න” යනුවෙන් දැනුම් දී තිබේ.

බ්‍රිතාන්‍යයට මෙම ප්‍රහාරය එල්ල වූයේ ලබන 8 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදීය. මෙම ප්‍රහාරය මෑත කාලයේ බ්‍රිතාන්‍යයට එල්ල වූ තෙවැනි මාරාන්තික ප්‍රහාරය වූ අතර මීට සති දෙකකට අඩු කාලයකදී මැන්චෙස්ටර් වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 22 දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මැන්චෙස්ටර් එරීනා හි පැවැති ඇමෙරිකා ගායිකා අරියානා ග්‍රාන්ඩේ ගේ ප්‍රසංගයක් අවසානයේ එම බෝම්බය පුපුරා ගිය අතර කිසිවකුත් එහි වගකීම බාරගන්නා බව ප්‍රකාශ කර නොතිබිණි.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ වනවිට ලන්ඩන් පාළම සහ දුම්රිය ස්ථානය වසා දමා තිබේ.

Facebook
Twitter
LinkedIn