මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට මහ බැංකු බැඳුම්කර මත ආයෝජනය කිරීමට යළි ඉඩ දී ඇතැයිද මහ බැංකු බැඳුම්කර වංචාව විමර්ශනය කිරීමට විශේෂ ජනපති කොමිසමක් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් සමාගමට බැඳුම්කර ආයෝජනය කිරීමට නැවත ටෙන්ඩර් ලබාදීම බරපතළ වරදක් යැයිද දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ සඳහන් කරයි.
සමරසිංහ මහතා පවසන්නේ ජනාධිපති කොමිසමේ විමර්ශනය අවසන් වන තුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් බැංකු ගිණුම් හා බලපත්‍ර තාවකාලිකව අවලංගු කළ යුතු බවය.
මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රුපියල් කෝටි 6,900ක් පාඩු කරමින් අයථා ලෙස ඉපැයූ මුදල් පුවත්පත් හා මාධ්‍ය ආයතන, මත්පැන් නිෂ්පාදනාගාර ඇතුළු ව්‍යාපාර ආරම්භ කිරීම, බැංකු මිලදී ගැනීම සිදු කරන අර්ජුන් ඇලෝසියස් ව්‍යාපාරිකයකු ලෙස බෞතීස්ම කිරීමට ආණ්ඩුව ඉඩදී ඇති බවට ඒ මහතා චෝදනා කරයි.
පසුගිය සතියේ සිට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එලෙස බැඳුම්කර ආයෝජනය කිරීමට ඉඩ දීමේදී බැඳුම්කර වංචාවේ චූදිතයන්ට එල්ල වී ඇති චෝදනා යට ගැසීමට උත්සාහ කරනවාදැයි බරපතළ සැකයක් මතුවන බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.
මහ බැංකු හිටපු අධිපති වාර 164කදී රුපියල් ලක්ෂ 660ක මහ බැංකු මුදල් අවභාවිත කර ඇතැයි අභ්‍යන්තර විගණන වාර්තාවකින් තහවුරු වී තිබියදීත් ඒ පිළිබඳ මෙතෙක් කිසිදු පරීක්ෂණයක් කර නොමැති බවද ඒ මහතා මතක් කර සිටියි.
මෙවැනි තත්ත්වයකදී වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මුදල් මණ්ඩලය බැඳුම්කර මගඩියේ වංචනිකයන්ට ආරක්ෂාව සලසමින් නැවත, නැවත සොරකම් කිරීමට ඉඩ සලසා ඇති බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.










