කරදියානේදී ජනතාව නිහඬ විරෝධතාවයක

කරදියානේදී ජනතාව නිහඬ විරෝධතාවයක

ධාරිතාවය ඉක්මවා කසළ බැහැර කිරීම, කසළ වෙන් නොකර බැහැර කිරීම, මේ වනවිට කුණු කන්දේ ඇති තත්වය පරීක්ෂා නොකිරීම, කරදියාන මධ්‍යස්ථානයේ කසළ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවළිය අඩපණ කිරීම ඇතුළු කරුණු ගණනායක් මුල් කරගනිමින් අදත් (22) කරදියාන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඉදිරිපිටදී මහජන නියෝජිතයින්, භික්ෂූන් වහන්සේලා සහ ප්‍රදේශයේ ජනතාව එක්ව නිහඬ විරෝධතාවයක නිරත වූහ.

බොරලැස්ගමුව සහ පිළියන්දල පොලිස්ථානාධිපතිවරු විසින් අද පැවැත්වෙන විරෝධතාවය වැලැක්වීමට වාරණ නියෝග ලබා ගැනීමට කටයුතු කර තිබුණද අධිකරණය ලබාදුන් නියෝගවලට යටත්ව ඉතා බුද්ධිමත්ව මෙම විරෝධතාවය පැවැත්වූ බව බස්නාහිර පලාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කරයි.

කසළ ප්‍රවාහණය කිරීමට ඇති රථවල නොව වෙනත් රථවල කසළ ප්‍රවාහන කරමින් මෙම ස්ථානයට බැහැර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් එය නීතිවිරෝධී මෙන්ම අධිකරණයට සිදු කළ අපහාසයක් යැයිද ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේ ය. එමෙන්ම පිටතින් ගෙන එන කසළ වෙන්කිරීමකට භාජනය නොකර මෙහි බැහැර කිරීම මගින් මෙම කරදියාන කසළ ප්‍රතිචක්‍රීකරණය සිදු කරන අංගණයේ එම ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල අඩාල වී ඇති බවත් කුණු කන්ද දිනෙන් දින ඉහලට එසවෙමින් පවතින බවත් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පෙන්වා දෙයි.

මේ වනවිට මීතොටමුල්ල කුණු කන්ද නිරීක්ෂණයට පැමිණ ඇති ජපන් කණ්ඩායම පවසා ඇති පරිදි කුමණ හෝ මොහොතක එම කන්ද පුපුරා යාමට ඉඩ ඇති අතර ඒ හා සමාන විශාලත්වයක් උසුළන කරදියාන කුණු කන්ද සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් එයට පුපුරා යාමට ඉඩ නැතැයි යමයෙකුට කිව හැක්කේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

කරදියාන කුණු කන්ද අසළ හමුදා රෝහලක්ද ඉදිවෙමින් පවතින අතර මෙවන් කුණු කන්දක් අසළ එවැනි රෝහලක් පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඔහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි.

මෙම ස්ථානයට තවදුරටත් කසළ බැහැර කිරීම නතර කර වාහම මෙම තත්වය නිවැරදි කරන ලෙසත් ඔහු බලධාරීන්ට තදින් අවධාරණය කර සිටියි.

Facebook
Twitter
LinkedIn