‘‘ආණ්ඩුවේ ඇමතිවරයෙකු විනිශ්චයකාරවරයෙකුට තර්ජනය කර අධිකරණයට බලපෑම් කිරීම අපි තරයේ හෙළාදකිනවා. මන්නාරම නගරයේ උද්ඝෝෂණයකට සහභාගි වූ පිරිසක් බදුඋදීන් ඇමතිවරයාගේ අවශ්‍යතාවය අනුව අධිකරණයට බලපෑම් කර ඇති බව හෙළිවී තිබෙනවා. ඒ වගේම මහජන උද්ඝෝෂණයට විරුද්ධව ප්රජාතන්ත්ර විරෝධී ආකාරයට පොලීසිය හැසිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මේ තත්වය නැවතත් ජාතිවාදයට තල්ලු කරන මූලයන් සහිතයි‘‘ යනුවෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.
සහෝදරත්වයේ දිනය සමරමින් ලබන 23 වන දා ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීය.
මෙහිදී වැඩිදුරටත් බිමල් රත්නායක මහතා සඳහන් කළේ උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි ආණ්ඩුවේ ව්‍යාපෘති නම්කර තිබුණද සැබෑ වශයෙන්ම සිදු වන්නේ ‘‘කූඩාරමේ හිටපල්ලා – වේලක් කාපල්ලා – කාපට් පාරේ පලයල්ලා‘‘ යන්න යැයිද මෙවැනි තත්වයක් ජාතික සමගිය ගොඩනැගීම සහ සහෝදරත්වය වර්ධනය කිරීම වෙනුවට යළි ජාතිවාදය දෙසට තල්ලු කරන බව පැවැසීය. ආණ්ඩුවේ බලය සියතට ගනිමින් ඇමතිවරුන් අධිකරණයට පවා බලපෑම් කිරීම සහ තර්ජනය කිරීම ඉතා බරපතල තත්වයක් බව ඔහු එහිදී අවධාරණය කළේය.









