මේ දිනවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු පත්කමින් සිටින අතර එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය විශේෂ තැනක් ගෙන තිබේ. ඒ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවති මහ මැතිවරණයේදී තම මැතිවරණ දිස්ත්‍රික්කය ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය තෝරාගත් නිසාය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයටත් ඉන් පසුව දේශපාලන වේදිකාවෙත් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි පිරිසක්ද මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාසන සහ දිස්ත්‍රික් සංවිධායකධුර ලබාගෙන තිබේ.
එහිදී පැවති ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවලදී සෘජුවම මහින්ද පිල සමග සිටි හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා සහ වයඹ පළාත් සභාවේ අමාත්‍යවරයෙකුවන ගුණදාස දෙහිගම විශේෂය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ඉදිරිපත්වනවිට අද මෙසේ ආසන සංවිධායක ධුර ලබා ගත් අය අතරින් ලක්ෂමන් වෙඬරුව හැර අනෙක් සියළුම දෙනා මහින්ද පිල නියෝජනය කළ අතර ජනාධිපතිවරණය අවසන වූ වහාම ඔවුන් මහින්ද පිලෙන් ගැලවී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණියේ ය.
මේ අතර තවදුරටත් මහින්ද පිල නියෝජනය කරන බොහෝ පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය සහ ආසන සංවිධායකධුර අහිමිවී ඇති අතර පොල්ගහවෙල ආසන සංවිධායක ලෙස සිටි ටිකිරි බණ්ඩාර හා මහින්ද පිලේ ප්රබලෙයකු වන නිකවැරටිය ආසන සංවිධායක ලෙස සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු එම ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.
මේ වනවිට කටුගම්පල ආසනයට අමාත්‍ය අනුර ප්‍රියර්ශන යාපා, යාපහුව ආසනයට රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, දඹදෙණිය ආසනයට ශාන්ත බණ්ඩාර, කුලියාපිටිය ආසනයට අතුල විජේසිංහ, ගල්ගමුව ආසනයට තාරානාත් බස්නායක, දොඩම්ගස්ලන්ද ආසනයට නිමල් විජේසිංහ, මාවතගම ආසනයට උපුල් ප්‍රියන්ත යන අය පසුගියදා පත් කළේය.
එමෙන්ම පඩුවස්නුවර ආසනයට ආමාත්‍ය දයාසිරි ජයසේකර, නිකවැරටිය ආසනයට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, බිංගිරිය ආසනයට ධර්මසිරි දසනායක, පොල්ගහවෙල ආසනයට හිටපු අමාත්‍ය ජයරත්න හේරත් සහ කුරුණෑගල ආසනයට ලක්ෂමන් වෙඬරුව යන අය අද (11) දින පත් කර ඇත.
පළාත් අමාත්‍ය ගුණදාස දෙහිගම, අනුරාධ සම්පත් හේවගේ, එම්.එස්.එම් ෆාහිම්, උපුලාංගනී මාලගමුව, නිලන්ත රාජපක්ෂ, එස්.එම්. සරොස් සහ සරත් රත්නායක යන අය දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කර තිබේ.










