කියුබානු තරුණ කොමියුනිස්ට් සංගමය තුළ මේ වනවිට 350,000 කට වැඩි සාමාජිකයින් ප්‍රමාණයක් නියෝජනය වෙමින් පවතින අතර එම සාමාජිකයින් නියෝජනය වෙන කමිටු 33,000ක් බිම් මට්ටමින් ගොඩනැගී ඇති බව ලතින් ඇමෙරිකානු කලාපය නියෝජනය කරන මාධ්‍ය ජාලයක් වාර්තා කර තිබේ.
2014 වසරේදී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝගේ සහභාගීත්වයෙන් ඇරඹුණු දෙරට අතර සබඳතා යථාවත් කිරීමේ ක්‍රියාවලියත් සමග කියුබාවේ සමාජවාදය බිඳවැටීමටත් කියුබාව තුළ කොමියුනිස්ට්වාදය පසුබෑමට ලක්වන බවටත් ගෙන යමින් තිබෙන ප්‍රකාශය මේ තුළින් නිෂේධනය වන බව එම පුවත් සේවය වාර්තා කරයි. කියුබානු තරුණයින් අතර කොමියුනිස්ට් සංගමය පිළිබඳව දැඩි උද්යෝගයක් ඇති අතර ඔවුන් ඕනෑකමින් කොමියුනිස්ට් තරුණ සංගමය හා එක්ව කටයුතු කරන බවද වාර්තා වේ.
කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශක සුසෙලි මෝතා ගොන්සාලේස් අදහස් දක්වමින් පවසා ඇත්තේ සාමාජිකත්වයේ වර්ධනය මෙන්ම ඔවුන්ගේ දේශපාලනික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත්, කියුානු ඉතිහාසය පිළිබඳව වඩාත් සංවර්ධනාත්මකව ගවේෂණය කිරීමටත් සමාජ ක්‍රියාකාරකම් වෙත ඔවුන් දායක කර ගැනීමටත් කියුබානු තරුණ කොමියුනිස්ට් සංගමය ක්‍රියාකරමින් ඇති බවයි. එසේම ඇමෙරිකානු සම්බාධක මෙන්ම කුමන්ත්‍රණයන්ට මුහුණ දෙමින් දුෂ්කරතාවයන් යටතේ සමාජවාදී කියුබාව අවුරුදු 55ක් තුළ ලබා ගත් සියලු ජයග්‍රහණයන් රැකගැනීමටත් වර්ධනය කර ගැනීමටත් මෙම තරුණ බලවේගය අනිවර්යයෙන්ම සමත් වනු ඇති බව ප්‍රකාශ කර තිබේ.










