කෞතුකාගාර හොරා සොයන පොලිසියට රන් පටියක් හමුවෙලා

ජාතික කෞතුකාගාර සොරකම පිළිබඳව තොරතුරු සොයමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මෙය හමුවී ඇත. පොලීසියට වැල්ලම්පිටියේ පදිංචිව සිටි සාමාන්‍ය පවුලක් කඩවත පහළ බියන්විල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 45කට අලුත් නිවසක් මිලට ගෙන ධනවතුන් සේ ජීවත්වන බවට තොරතුරක් ලැබි තිබේ. ඒ ගැන කෙරුනු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රත්‍රං තහඩු පටි කිහිපයක් ගෙවත්තක වළ දමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (28) සොයාගෙන තිබේ.

අඟල් 4 1/2ක් දිග, අඟලක් පළල සහ අඟල් 1/4ක් ඝනකම ඇති එම රත්‍රන් පටි වළ දමා තිබි ඇත්තේ නිවසේ පිළිකන්නේ තාප්පය අයිනේ වන අතර රත්‍රං පටි 03ක් එම සෝදිසියේදී ‍පොලීසියට හමුවී තිබේ.

ඒ ගැන දීර්ඝ වශයෙන් නිවෙස් හිමියාගෙන් කෙරුනු ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ වැල්ලම්පිටියේ එම නිවසේ මිදුලට දැමීමට රැගෙන ආ පස් ගොඩක තිබි එම රත්‍රං පටි හමු වූ බවය. රන් පටි නවයක් දහයක් පමණ පස් ගොඩේ තිබුණු බවද ඔහු පවසා තිබේ. එම රන් පටි කොළඹ හෙට්ටිවීදියේ සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජුවලරි කිහිපයකට විකුණා ඒ මුදලින් නිවස මිලදීගත් බව ඔහු පවසා ඇත.

ගෙවත්තට දැමීමට රැගෙන ආ පස්ගොඩකින් එම රන් තහඩු හමු වූ බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව ‍පොලීසිය කියයි. එම රන් තහඩු රන් උණුකර සකස්කර ඇති බවක් පෙනී යන බැවින් නිවෙස් හිමියා සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn