ලංකා ඉන්දියානු තෙල් සමාගම ඩීසල් හා පෙට්‍රල් මිල වැඩි කරන ලෙස යළිත් වරක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයට ලිපියක් යොමු කරමින් ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 13 කින් වැඩි කරන ලෙස ඉල්ලා තිබේ.
ඉන්දියානු තෙල් සමාගම් අප්‍රේල් මාසයේදී පමණක් රුපියල් මිලියන 360ක පාඩුවක් ලබන බව ඔවුන් රජයට දැනුම් දී ඇත. ලෝක වෙළෙඳ පොළේ මිල අඩු වුවද තවම එම අඩුවීම ලැබි නොමැති බවද ඔවුන් කියා තිබේ. එම නිසා කෙටි කාලයකට හෝ මේ මිල වැඩි කරන ලෙස ඉල්ලා ඇත.
ලෝක වෙළෙඳ පොළේ පිරිපහදු කළ තෙල් මෙන්ම බොරතෙල් මිලද මේ වන විට අඩු වී තිබේ.
ඉන්ධන මිල වැඩි කිරීම සඳහා ඉන්දියානු තෙල් සමාගමට රජයෙන් ඉල්ලා සිටීමට අවශ්‍ය නැති බවත්, ගිවිසුම් අනුව ඔවුන්ට එය කිරීමට නිදහස තිබෙන බවත්, ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඩොලර් 5ක් 6ක් අතර ප්‍රමාණයක් මේ දිනවල අඩු වී තිබේ. බොරතෙල් බැරලයක මිල මේ දිනවල යුරෝපා වෙළෙඳ පොළේ ඩොලර් 105.4 ක් ලෙසද ඇමෙරිකානු වෙළෙඳ පොළේ ඩොලර් 90.76 ක් ලෙසද අලෙවි කෙරේ.
ලෝක වෙළෙඳ පොළේ මිල අඩුවුවද මෙරට තෙල් මිල අඩු කිරීමේ හැකියාවක් තවම නැතැයිද ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා ප්‍රකාශ කර ඇත.









