NSBය අපකීර්තියට පත් කළ පිරිසට දඬුවම් ලබා දෙනු ! – සමස්ත ලංකා බැංකු සේවක සංගමය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මලට ගැනීම සම්බන්දයෙන් ඇතිවී තිබෙන තත්වය හමුවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කීර්ති නාමයට සිදුවී ඇති හානිය අතිමහත් බවත් එලෙස බැංකුව අපකීරීමත් ආයතනයක් බවට පත් කළ පිරිසට දඬවම් ලබා දියයුතු බවත් සඳහන් කරමින් සමස්ත ලංකා බැංකු සේවක සංගමය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙත ලිපියක් යවා ඇත.

එම සංගමයේ ජාතික ඉතිරිකිරීමේ බැංකු සංගමයේ සභාපති ගුණවර්ධන ගල්ගමුව මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ” කොටස් ඉපයීම සෘණ අගයක් ගත්, පාඩු ලබන ආයතනයක් වූ, ද ෆිනෑන්ස් සමාගමේ කොටස් 64% ක් තරම් අධික මිලකට, මිලට ගැනීමේ බැලූ බැල්මට මූල්‍යමය වශයෙන් අලාභයක් සිදුවන බව දැන දැනම ඒ ගැන කිසිඳු සැලකිල්ලක් නොදක්වා මෙම ගනුදෙනුව සිදු කර ඇත. රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ගනුදෙනුව පිළිබඳව බැංකුවේ වෘත්තීය සමිති වෙතින් නැගුන විරෝධයත් මාධ්‍ය හා වෙනත් සංවිධාන වෙතින් නුගුන විරෝධයත් හේතුවෙන් මෙම ගනුදෙනුව අවලංගු කර ඇති බව දැනගන්නට ඇත.

මෙම ගනුදෙනුව අවලංගු කිරීමේ හේතුවෙන් බැංකුවට ලැබෙන්නට තිබූ තැන්පත් මෙන්ම, බැංකු තැන්පත් ලෙස පැවති විශාල මුදලක්ද බැංකුවට අහිමි විය. මෙහි බරපතලම කරුණ නම්, වසර 40 ක් තිස්සේ බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයම විවිධ කැපකිරීම් කර ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයට බරපතල ලෙස හානි සිදුවීමයි.

මුදල් කවුළුවේ සේවය කරද්දී රු.100/-ක් අඩු වූ සේවකයන් පවා සේවයෙන් පහකර, දැඩි විනයක් පවත්වාගෙන යන ජාතික ඉතිරිකිරීමේ බැංකු පාලනාධිකාරිය, මෙම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නට මේ වන විටත් කිසිඳු සූදානමක් නැත.

එබැවින්, මේ ගැන ස්වාධීන පුළුල් පරීක්ෂණයක් පවත්වා මීට සම්බන්ධ වූ සියළු පාර්ශවයන්ට දඬුවම් පැමිණවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමු.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn