තාජුඩීන්ගේ අස්ථි කොටස් SAITMඑකට රැගෙන ගිහින්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් අතුරුදහන් මා‍ලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගොස් ඇතැයි හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම්දී තිබේ.‍

ඒ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාග වන නඩුව අද එම අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ය.

වසීම් තාජුදීන්ගේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා පිළිබඳවද පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඊට අදාළව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ප්‍රකාශවලදී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර ශීතාගාරයේ තිබූ අස්ථි කොටස් අඩංගු පාර්සල් 15ක් පමණ ලොරියකින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව සඳහන් කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී එම අස්ථි කොටස් මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට තවදුරටත් දැනුම් දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා තවදුරටත් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර ඇති අතර පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. 

අදාළ නඩුව යලි ඔක්තෝබර් මස 05 වන දින කැඳවීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn