ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තිය අසාධාරණයි… හවුලටත් ආර්ථිකය ගොඩ ගන්න බැහැ…

නව වැට් බදු පනතටත් ජවිපෙ විරෝධය

වත්මන් හවුල් ආණ්ඩුවටද රටේ ආර්ථිකය ගොඩ ගත නොහැකි බවත් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ඉතාමත්ම අසාධාරණ බවත් නව වැට් බදු පනතට විරුද්ධ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වී විජිත හේරත් මහතා.

“අලුත් ආණ්ඩුවටත් පරණ ආණ්ඩුවට වගේම අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බැහැ කියලා පහුගිය අවුරුද්දේ ඔප්පු කරලා පෙන්නුවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වැඩ පිළිවෙලක් නැති නිසා පරණ ආණ්ඩුව වගේම ජනතාව මත බදු බර පටවනවා. ණය ගන්නවා. ජනතාවට ලබාදී තිබෙන සහන කප්පාදු කරනවා. මේ ආණ්ඩුවටත් කරන්න ඉතිරි වෙලා තිබෙන්නේ ණය ගැනීම, සහන කැපීම, බදු බර පැටවීම පමණයි.

වත්මන් ආණ්ඩුව පහුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ගත්තා. ඒ ණය ගන්න වෙලාවේ අයි.එම්.එෆ් එකට පොරොන්දු වුණා බදු ගහලා රටේ ආදායම වැඩි කරගන්නවා කියලා. ඒ පොරොන්දුවට අනුව තමයි අවුල් ජාලාවක් කර ගනිමින් බදු පනතක් ගේන්නේ. රටක බදු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වන මූලික මූලධර්මයක් තිබෙනවා. එයට අනුව රටක බදු නිශ්චිත විය යුතුයි. සරල සහ ජනතාවට පහසු එකක් විය යුතුයි. ඒ වගේම සාධාරණ විය යුතුයි. මේ ආණ්ඩුව මුලින් කිව්වා සෘජු බදු වැඩි කරමින් ජනතාවගෙන් අය කරන වක‍්‍ර බදු අඩු කරනවා කියලා. රනිල් වික‍්‍රමසිංහ ඒ බව පාර්ලිමේන්තුවේ පැහැදිලිව ප‍්‍රකාශ කළා. වක‍්‍ර බදු අය කරන්නේ ජනතාවගෙන්. සෘජු බදු අය කරගන්නේ විශාල ආදායමක් උපදවන්නන්ගෙන්. සෘජු බදු වැඩි කරනවා කියපු ආණ්ඩුව ඊට පරස්පරව ක‍්‍රියාත්මක වෙමින් සෘජු බදු ප‍්‍රතිශතය අඩු කළා. ආදායම් බදු 35% සිට 17% වගේ ප‍්‍රමාණයකට මේ වනවිට අඩුකර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට පටවන බදු ප‍්‍රමාණය වැඩි කර තිබෙනවා. වැට් වැඩි වීමෙන්, ජාතිය ගොඩනැගීමේ බදු වැඩි වීමෙන් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවයි.

ආණ්ඩුවට වැට් පනතවත් හරියට ක‍්‍රියාත්මක කර ගන්න බැරි වුණා. පහුගිය දෙසැම්බර් මාසයේ අයවැය ගේනකොට වැට් බද්දක් පැනෙව්වා. ඊට පසුව අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් 11% තිබූ වැට් එක 15% දක්වා වැඩි කළා. ඇතැම් භාණ්ඩවල වැට් ප‍්‍රතිශතය 4%කින් වැඩි වනවිට ඒ වනවිට බදු අය නොකරමින් තිබුණු සෞඛ්‍ය සේවාව ඇතුළුව තවත් භාණ්ඩ හා සේවා ප‍්‍රමාණයකට 15%ක වැට් බද්දක් පැනෙව්වා. මුදල් අමාත්‍යංශය විසින් දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත යවපු ලිපියේ ඒ බව පැහැදිලිව සඳහන් වුණා. ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලි බිල් සඳහා සහ දුරකතන සේවා සඳහා 2%ක බද්දක් පැනෙව්වා. එම නිසා වැට් බද්ද 4%කින් වැඩි වුණා පමණක් නොව මෙතෙක් බදු අය නොකරපු භාණ්ඩ හා සේවා සඳහා අලුතින් බදු එකතු වුණා.

මේ විදියට ගෙනාපු වැට් පනතට පළමු වතාවේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගත්තේ නැහැ. ඒ නිසා අධිකරණය මගින් එම වැට් පනත අවලංගු කළා. නමුත් ඒ වනවිටත් ජනතාව වැට් බද්ද ගෙවමින් සිටියා. දෙවැනි වතාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනතට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබුණේ නැහැ. තුන්වෙනි වතාවේදී තමයි ආණ්ඩුව නිසියාකාරව පනත පාර්ලිමේන්තුවට ගේන්නේ.

සංශෝධනය කරලා ගෙනාපු නව පනතෙන් මහලොකු දෙයක් වෙනස් කරලා නැහැ. සුළු ව්‍යාපාරිකයන් කඩ සාප්පු වහලා වැට් එකට විරෝධය පළකරමින් ආණ්ඩුවට බලපෑමක් කළා. ඒ නිසාම ආණ්ඩුව ඇතුලෙත් මත ගැටුමක් තිබුණා. ඒ සංවාදය නිසා වැට් සඳහා ලියාපදිංචි විය යුතුව තිබූ වාර්ෂික ආදායම මිලියන 50 දක්වා වැඩි කිරීම පමණයි ආණ්ඩුව සංශෝධනය කරලා තිබෙන්නේ. ඒ අනුව මාසිකව එක් කෝටි තිස්අට ලක්ෂයකට ඉහළ ආදායමක් ලබන අය පමණක් වැට් සඳහා ලියාපදිංචි විය යුතුව තිබෙනවා. ඊට අමතරව අලුතෙන් බදු එකතු වෙලා තිබෙනවා. ගුවන් ටිකට් පත් සඳහා වැට් බදු හඳුන්වා දී තිබෙනවා. සීනි අඩංගු කිරිපිටි නිශ්පාදනවලට අලුතින් බදු පනවා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ එකක් දෙකක් ඉවත් කරලා තිබුණට සෞඛ්‍ය සේවය සඳහා අයකරපු බද්ද සම්පූර්ණ ඉවත් කරලා නැහැ. ජනතා විරෝධය නිසා යම් යම් සංශෝධන කිහිපයක් පමණයි කරලා තිබෙන්නේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කිව්වා ගෙනාපු වැට්බදු පනතේ අඩුපාඩු ගොඩක් තිබෙනවා ඒ නිසා අපි සංශෝධන දානවා කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනාපු අලුත් යෝජනවා මොකක්ද? මිලියන 30 පිරිවැටුම මිලියන 50 දක්වා වැඩි කිරීම පමණයි සිදු කර තිබෙන්නේ. ජංගම දුරකතන සහ ස්ථාවර දුරකතන සඳහා බදු එලෙසම අය කරනවා. වැට් බද්ද, විදුලි සංදේශ බද්ද, ජාතිය ගොඩ නැගීමේ බද්ද වැනි සියලු බදු එකතු කළ විට රුපියල් 100ක රීලෝඩ් එකක් සඳහා රුපියල් 49.73% බද්දක් අයකර ගන්නවා. ලක්ෂ 20ක් පමණ විදේශ රැකියාවල නිරත වන ශ‍්‍රී ලාංකිකයින්ට ලබා ගන්නා දුරකතන ඇමතුම් සඳහා ජාත්‍යන්තර දුරකතන ඇමතුම් බද්ද ලෙස වෙනම බද්දක් අයකර ගනු ලබනවා. ජංගම දුරකතන කියන්නේ දැන් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ. නිෂ්පාදනය, වෙළඳාම සඳහා සෘජුව උපයෝගී කර ගන්නා සේවාවක්. එනිසා එයට බදු අයකිරීම අසාධාරණයි. එළවළු නිෂ්පාදනය කරන ගොවියා තම ඵලදාව නෙළන්නේ ප‍්‍රවාහනය කරන්නේ මිල ගනන් සොයා බලන්නේ ජංගම දුරකතන හරහා. එම නිසා දුරකතන සේවා සෘජුව නිෂ්පාදනයට අදාලයි. එසේ තිබියදී රාජිත සේනාරත්න කියනවා වියදම වැඩි නම් මොබයිල් ෆෝන්  ඕෆ් කරන්න කියලා.

සංඛ්‍යා ලේඛනවලට අනුව ආණ්ඩුව උපයන බදු ආදායමෙන් වැට් බද්ද පමණක් 25%ක ප‍්‍රතිශතයක් අය කර ගන්නවා. 2010දී ආණ්ඩුවේ බදු ආදායම වූ රුපියල් මිලියන 647,500න් රුපියල් මිලියන 171,510ක් එනම් 26.48%ක්ම වැට් බද්දයි. 2013දී එම වැට් බදු ප‍්‍රතිශතය 24.05%ක්ද 2014දී 24.8%ක්ද වී තිබෙනවා. වැට් බද්ද ලෙස සාමාන්‍ය ජනතාව මත අය කරන බද්ද තමයි මේ විදියට වැඩි කරමින් තිබෙන්නේ. එය රටක බදු ප‍්‍රතිපත්තියට පටහැනි දෙයක්.

මෙම වැට් බදු පනත ගෙනාපු ආකාරය වැරදි සහගතයි. නමුත් ජනතාව බදු ගෙවා තිබෙනවා. එම බදුවලට අනුව චැනල් සර්විස්වල ගාස්තු 25%කින් විතර වැඩි කර තිබෙනවා. නීති විරෝධී නිසා බදු අය කිරීම නතර කර දැමුවාට සෞඛ්‍ය සේවා ඇතුළු භාණ්ඩ හා සේවාවලට බදු ගෙවපු ජනතාවට ආපසු එම මුදල ලබා ගැනීමට ක‍්‍රමවේදයක් නැහැ. ජනතාවට අයිතියක් තිබෙනවා එම මුදල් ආපසු ලබා ගන්න. ඒ සඳහා ආණ්ඩුව යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණ එදත් කිව්වා බදු වැඩි කිරීමේ ක‍්‍රමවේදය අසාධාරණ නිසා අපි එයට විරුද්ධයි කියලා. ඒ නිසා සංශෝධනය කරලා ගෙනාවත් මේ වැට් බදු පනතට විරුද්ධව අපේ ඡන්දය පාවිච්චි කරනවා. ආණ්ඩුවේ මෙම බදු ප‍්‍රතිපත්තියට විරුද්ධවයි අපි ඡන්දය පාවිච්චි කරන්නේ. ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරු එළියේ විරෝධය ප‍්‍රකාශ කලාට කැබිනට් එකේදී වැට් පනතට සහාය ලබා දුන්නා. එළියේ විරෝධය ප‍්‍රකාශ කළේ ජනතාව රවටන්නයි. දැන් එ.ජා.ප.ය ශ‍්‍රීලනිපය දෙකම එකතු වෙලා තමයි මෙම වැට් බදු පනවලා තිබෙන්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තටම විරුද්ධයි නම් පනතට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා පෙන්නන්න කියලා අපි කියනවා. අයවැය ගේනකොට අයි.එම්.එෆ්. එකේ ණය බලාපොරොත්තුවෙන් තමයි මේ වැට් පනත සම්මත කර ගන්නේ. ඒ අනුව හොඳටම පැහැදිලි මේ හවුල් ආණ්ඩුවටත් අපේ රටේ ආර්ථික අර්බුදයට උත්තරයක් නැහැ කියලා.

70 වෙනි සංවත්සරය සමරපු එජාපයත් 65 වැනි සංවත්සරය සමරපු ශ‍්‍රීලනිපයත් සම්මේලනවලදී කිව්වා 2020දී තමන්ගේ පක්ෂය තනිවම ආණ්ඩුවක් හදනවා කියලා. එහෙම කියන ගමන් දැන් එකතු වෙලා රට හදනවා කියලත් කියනවා. දැන් එකතු වෙලා රට හදනවා නම් 2020දී වෙනම ආණ්ඩු හදන්නේ මොකටද කියලා අපි අහන්න කැමතියි. රට හදන්න හවුල හොඳයි නම් වෙනම ආණ්ඩු හදන්න දඟලන්නේ ඇයි. මේවා තමන්ගේ පාක්ෂිකයින් රවටන්න  කරන බොරු වැඩ. එනිසා අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ මෙම අසාධාරණ බදු ප‍්‍රතිපත්තියට එරෙහිව හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවලියට එරෙහිවත් විරෝධය පළකිරීමට කටයුතු කරන්න කියලා. ඒවගේම ජනතාවට සාධාරණ, නිෂ්පාදන ආර්ථිකයක් සහිත පාලනයක් ගොඩ නැගීම සඳහා මැදිහත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු…

“මේ ආණ්ඩුව බලය ගන්න කොට කිව්වේ රාජපක්ෂලා කරපු හොරකම් නතර කරාම  ඒකෙන්ම රට හදන්න පුළුවන් කියලයි. දැන් කියනවා ගත්තු ණය ගෙවන්න තියෙන නිසා ආර්ථිකය අමාරුයි කියලා. අපේ රටේ ආර්ථිකයේ විනාශයට 75%කට රාජපක්ෂලා වගකිව යුතුයි. රාජපක්ෂලා ගත් ණය ගෙවන්න තියෙනවා කිව්වට එම ණය ගෙවීම සඳහා රටේ නිෂ්පාදනය වැඩි කරන්න මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. කාර් කොම්පැනි ගේනවා කිව්වා. තරුණයින් ලක්ෂ 10කට රැකියා දෙනවා කිව්වා. ඒ කිසි දේකට මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. දැන් සිදුකරමින් තිබෙන්නේ තමන්ගේ බැරිකම වහගන්න ප‍්‍රකාශ නිකුත් කරන එකයි. මේ ආණ්ඩුවේ බැරිකම නිසාම ආර්ථික අර්බුදය වැඩි වෙමින් තිබෙනවා.

මේ ආණ්ඩුවේ ආර්ථිකයට ඉලක්කයක් නැහැ. ස්ථාවරයක් නැහැ. ආණ්ඩුව කියනවා පාර්ලිමේන්තුවේ 2/3ක් තියෙන නිසා ස්ථාවරයි කියලා. පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගණන ස්ථාවර වුණාට රටක් ස්ථාවර වෙන්නේ නැහැ. රටක් ස්ථාවර වෙන්න ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් ස්ථාවර වෙන්න ඕන. මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ටවත් හරි ස්ථාවරයක් නැහැ. රටට මොකද වෙන්නේ කියලා අපෙන් අහනවා.

පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ආණ්ඩුව වැරදි කළා කියලා පිළිගන්නවා. ඒ ඇමතිවරුම කැබිනට් එකේ ඉඳගෙන වැරදි කළා කියලත් පිළිගන්නවා. එම නිසා ඔවුන් වැඩකරමින් ඉන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කියලා හොඳටම පැහැදිලියි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නොව ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් මේ අසාධාරණ වැට් බදු පනතට එරෙහිව ඡන්දය පාවිච්චි කරලා පෙන්නන්න කියලා අපි ඇමතිවරුන්ගෙන් ඉල්ලනවා.

වෛද්‍යවරුන්, විනිශ්චයකාරවරුන් සහ අනෙකුත් රජයේ නිලධාරීන් සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් සිදු වෙනවා. එසේ ස්ථානමාරුවන රජයේ සේවකයින්ගේ දරුවන්ට පහසුකම් සහිත පාසලක් ලැබිය යුතුව තිබෙනවා. එය මීට පෙර අධ්‍යාපනය ලැබූ පාලසට සමාන සුදුසුකම් සහිත පාසලක් වීම සාධාරණ අයිතියක්. නමුත් දැන් මතු වෙලා තිබෙන ප‍්‍රශ්නය ස්ථාන මාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ එම ගැටළුව සාකච්ඡා කිරීමටවත් ඇමතිවරයා අවස්ථාවක් ලබා නොදීමය. ඇමතිවරයාගේ නොසැලකිල්ල නිසා වෛද්‍යවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයේ රෑ එළි වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. පාසලක් ලබා දීම හෝ නොදීම තබා ඔවුන්ගේ ගැටලුවේ ස්වභාවයවත් සාච්ඡා නොකිරීමයි ගැටලුව වී තිබෙන්නේ. වෛද්‍යවරුගේ ප‍්‍රශ්න පමණක් නොවෙයි මේ වනවිට කම්කරු නිලධාරීන්ගේ වර්ජනය රටපුරා ප‍්‍රාදේශීය සභා නගර සභා තාක්ෂණ නිලධාරීන්ගේ වැඩ වර්ජනයට අදාළ ඇමතිවරුන් සාකච්ඡාවක් පවා ලබා නොදී මගහරිමින් තිබෙනවා. ඇමතිවරුන්ගේ මැදිහත් නොවීම නිසා එම ප‍්‍රශ්න බරපතල වෙලා තිබෙනවා.

ප‍්‍රශ්නවලට මේ ආණ්ඩුවට උත්තර නැති වුණාම ආණ්ඩුව කරන්නේ බලහත්කාරය පාවිච්චි කරමින් මර්දනය කරන්න උත්සාහ කරනවා. උද්ඝෝෂණය කරන සිසුන්ට පහර දෙමින් මර්ධනය කරන්න උත්සාහ කරනවා. වෛද්‍යවරුන්ට බලහත්කාරය පාවිච්චි කරනවා. රෝගී වුණු වෛද්‍යවරිය රෝහල්ගත කරන්න ගිලන් රථය අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු කිරීමට නොදීම වැනි අමානුෂික ක‍්‍රියාවන්ට පෙළෙඹෙනවා. එවැනි හේතු නිසා තමයි වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට යන්නේ. වැඩවර්ජනවලදී ජනතාවට අපහසුතාවයන් ඇති වෙනවා. වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයේදී පමණක් නොවෙයි කම්කරු නිලධාරීන්ගේ වැඩවර්ජනයේදී  තාක්ෂණ නිලධාරීන්ගේ වැඩවර්ජනයේදී ජනතාව අපහසුතාවයට පත්වෙනවා. එහි වගකීම භාරගත යුතු වන්නේ අදාළ ඇමතිවරයායි. සේවකයින් වර්ජනයකට ඇදලා දාන්නේ නැතිව සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳන්න තමයි ඇමතිවරයෙක් ඉන්නේ.

 

දරුවන්ට පාසල් නොමැති ප‍්‍රශ්නය තියෙන්නේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පමණක් නොවෙයි. අපේ රටේ බොහෝ දෙනෙක්ගේ දරුවන් යන්න පාසලක් නැතිව මාස 6-7 ගෙවල්වලට වෙලා ඉන්නවා. සාමාන්‍ය ජනතාවගේ දරුවන් යන්න පාසලක් නැතිව ගෙවල්වල සිටිද්දී අක‍්‍රමවත් ක‍්‍රම මගින් ඕනෑ තරම් දරුවන් පාසල්වලට ඇතුළත් කරනවා. ඇමතිවරයාගේ දේශපාලන මැදිහත් වීම මත නිලධාරීන්ගේ මැදිහත් වීම මත අයථා ආකාරයෙන් ළමුන් පාසල්වලට ඇතුළත් කරනවා. ඒනිසා සාධාරණ ක‍්‍රමවේදයක් සකස් කිරීම තමයි ආණ්ඩුව කළ යුත්තේ.”

Facebook
Twitter
LinkedIn