පොලිස් පොඩ්ඩන්ගේ ප්‍රශ්න අනුර පාර්ලිමේන්තුවට ගෙනයයි

පොලිස් පොඩ්ඩන්ගේ ප්‍රශ්න අනුර පාර්ලිමේන්තුවට ගෙනයයි

පොලිස් සේවයේ මතුවී ඇති වැටුප් විෂමතාවය, දේශපාලන පළිගැනීම්, උසස්වීම් සහ ස්ථානමාරුවීම් සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා අද (23) ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නයක් මගින් ආණ්ඩුවේ අවධානයට යොමු කළේය.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන් පහතින් පළ වේ,

“පොලිස් සේවයේ මතුවී ඇති වැටුප් විෂමතාවය, දේශපාලන පළිගැනීම්, උසස්වීම් සහ ස්ථානමාරුවීම් සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

ගරු කතානායකතුමනි, රට තුළ නීතීය හා සාමය පවත්වාගෙන යෑමේදී පොලිස් සේවාව විසින් විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. විටින් විට මහජනයාගේ අප‍්‍රසාදයට ලක්වන අවස්ථා මතු වුවද සමස්තයක් ලෙස ඔවුන්ගේ කාර්යභාරය ඉතාමත් වැදගත්ය. වඩාත් කාර්යක්ෂම මහජන හිතකාමී පොලිස් සේවාවක් පවත්වාගෙන යෑමේදී බොහෝ කරුණු සැපිරිය යුතු වුවද වර්තමානයේ පොලිස් සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දී තිබෙන ගැටලු කෙරෙහි ආණ්ඩුවේ සැලකිය යුතු අවධානය යොමුවී නැති බව අපගේ වැටහීමයි. එම නිසා මෙම සභාව ඔවුන් පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. රජය විසින් පොලිස් නිලධාරීන්ගේ ටැටුප 40%කින් වැඩි කිරීමට අවශ්‍ය බව පිළිගෙන 2016 අයවැය මගින් පොලිස් නිලදාරීන්ගේ වැටුප් වැඩි කිරීමට මිලියන 3000ක් වෙන් කර තිබේ. 2017 වසරේදී තවත් මිලියන 3000ක් ලබාදෙන බව ප‍්‍රකාශ කර තිබේ. නමුත් මෙම වසරේ මාස 06කට ආසන්න කාලයක් ගතවී තිබුණද තවමත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත. පොලිස් නිලධාරීන්ගේ වැටුපට මෙය එකතු කර ලබාදෙන්නේ කවදාද?

02. පොලිස් නිලධාරීන් වෙනුවෙන් ස්ථානමාරු ප‍්‍රතිපත්තියක් එළිදක්වා ඇත. මෙමගින් කණිෂ්ඨ නිලධාරීන් දුෂ්කරතාවයට හා අපහසුතාවයන්ට මුහුණපාන බව ඉතාමත් පැහැදිළිය. තමන් පදිංචි පොලිස් කොට්ඨාශයේ රාජකාරි සඳහා අවුරුදු 57 ඉක්මවිය යුතුය. එමෙන්ම තම පදිංචි පළාතේ සේවයද සීමා කොට තිබේ. එම නිසා මෙම නිලධාරීන්ගේ සාධාරණ ගැටලු නිරාකරණය වන ආකාරයට සුදුසු සාධනීය සංශෝධන සිදුකරනවාද?

03. මේ වනවිට පොලිස් සේවාවේ බිඳවැටීමට ප‍්‍රධාන ලෙසම නිසි උසස්වීම් පටිපාටියක් නොමැතිවීමත් නියමිත පරිදි උසස්වීම් නොලැබී යෑමත් හේතුවී තිබේ. ඇතැම් පොලිස් කොස්තාපල්වරු අවු. 26කට ආසන්න කාලයක් එම තනතුරේම රාජකාරී කරයි. එමෙන්ම ඉහළ පොලිස් නිලධාරීන්ගේද විධිමත් උසස්වීම් පටිපාටියක් අනුගමනය නොකිරීම හේතුකොටගෙන එකම තනතුරේ දීර්ඝ කාලයක් රාජකාරී කරයි. මෙම තත්වය මවිසින් මීට පෙර මෙම සභාවේ පෙන්වා දී ඇති අතර යම් උසස්වීම් ක‍්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත්කළද එයද මේවනවිට අත්හිටුවා තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පිළිබඳ ගැටලු මෙතෙක් විසඳී නැත. එම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන්නේ කවදාද? 

04. දේශපාලන පළිගැනීම්වලට ලක්වීමේ වඩා සම්භාවිතාවක් ඇති රජයේ නිලධාරියා පොලිස් නිලධාරියා බව සියලු දෙනාගේ පිළිගැනීම වේ. මේ අතර දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අයට සහන සැලසීම යන මාතෘකාව නැවත කරළියට පැමිණ තිබේ. දේශපාලන පළිගැනීමට ලක්වූ බවට සහන ඉල්ලා සිටින පුද්ගලයින් අතරින් සත්‍ය ලෙසම දේශපාලන පිළිගැනීමට ලක්වූ අය හැර වෙනත් පුද්ගලයින්ද සිටින බවට තොරතුරු ලැබී ඇත. එම තත්වය බොහෝ පොලිස් නිලධාරීන්ගේ අප‍්‍රසාදයට ලක්ව තිබේ. මෙම තත්වය  නිවැරදි කිරීම සඳහා පියවර ගන්නේද?”

Facebook
Twitter
LinkedIn