ගොවීහු දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වටලති

තම කුඹුරුවලට අවශ්‍ය තරම් ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු 1000 කට අධික පිරිසක්‌ ඊයේ (16) උදේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වැටලුහ.

ගිරිතලේ වැවේ ප්‍රමාණවත් තරම් ජලය තිබියදී වාරිමාර්ග නිලධාරීන් අත්තනෝමතිකව ක්‍රියා කොට ජලය ලබා නොදෙතැයි මෙහිදී ගොවීහු කියා සිටියහ.

පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ ආර්. එම්. ජී. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ ගිරිතලේ ව්‍යාපාරයේ ගොවීන් කන්න රැස්‌වීමේදී ගත් තීරණවලට පටහැනිව නියමිත ප්‍රමාණයට වඩා කුඹුරුවල වී වගාකොට තිබෙන බවයි.

මෙවර කන්න රැස්‌වීමේදී තීරණය වූයේ මුළු කුඹුරු ප්‍රමාණයෙන් 80% ක්‌ සඳහා පමණක්‌ ජලය නිකුත් කිරීමටත් එම ප්‍රමාණයෙන් සියය 40% ක වී සහ 60% ක අතිරේක බෝග වර්ග වගා කිරීමටත් බව කී කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ගොවීන් මෙවර 100%ක්ම කුඹුරුවල වී වගා කිරීම නිසා මෙම ජල ප්‍රශ්නය ඇතිවී තිබෙන බව කීයයි.

Facebook
Twitter
LinkedIn