විග්නේෂ්වරන්ලා මහින්දලාගේ ජාතිවාදයෙන් රටට ජනතාවට යහපතක් නැහැ

“ජාතිවාදී දේශපාලකයින් විසින් අපේ රටේ නැවත වටයකින් ජාතිවාදය ඇවිලවීමට උත්සහ දරනවා. පසුගියදා උතුරු පළාත් සභාවට විග්නේෂ්වරන්ලා යෝජනාවක් ගෙනාවා ඔවුන්ට ෆෙඩරල් පාලනයක් අවශ්‍යයයි කියලා. එය පදනම් කරගනිමින් පරාජයට පත්වුණු මහින්ද රාජපක්‍ෂ ඇතුළු දකුණේ ජාතිවාදී කණ්ඩායම ජාතිවාදය වපුරන්න පටන් අරගෙන තිබෙනවා. මේ කණ්ඩායම් දෙකම රටේ ජාතිවාදය පැතිරවීම ජනතාවට හෝ අපේ රටට යහපත් තත්වයක් නොවේ. විග්නේෂ්වරන්ලා විසින් මේ රට බෙදා වෙන්කිරීමට ගෙනයන උත්සාහය පරාජයට පත්කරන්න ඕනෑ. වෙනම පාලනයක් වෙනුවෙන් ගෙනෙන යෝජනාවලින් උතුරේ ජනතාවට ලැබෙන දෙයක් නැහැ. ඔවුන් විසින් ඇතිකරන ජාතිවාදයෙන් සිදුවන්නේ නැවත වතාවක් අපේ රටට විදේශ රටවල්වලට අත පෙවීම, ජාතික සමගිය ඇති කිරීම පමණයි. එනිසා එම උත්සාහය සම්පූර්ණයෙන් පරාජයට පත්කළ යුතුයි. ඒ වගේම එම සිදුවීම් පදනම් කරගනිමින් දකුණේ පරාජිත කල්ලි විසින් ගොඩනගන ජාතිවාදී මතවාදයත් මේ රටට හෝ ජනතාවට යහපතක් ඇතිකරන්නේ නැහැ.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිලවා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (28) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්තහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ය. මෙම මාධ්‍ය හමුවට බස්නාහිර පළාත් සභා ජවිපෙ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා…

“පහුගිය තිස් අවුරුදු යුද්ධය නිසා අපේ රටේ ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව විශාල පීඩාවකට පත්වුණා. දේපළ විශාල ප‍්‍රමාණක් විනාශ වුණා. ජීවිත විශාල ගණනක් රටට අහිමි වුණා. විදෙස් රටවල මැදිහත්වීමට පාර කැපුණා. විශේෂයෙන් ඉන්දියාව ලංකාවේ දේශපාලනයට විශාල බලපෑමක් ඇති කළා. නැවත වතාවක් ජනතාවගේ සමඟිය හදන්න  ඕනෑ වෙලාවක බංකොළොත් වුණු උතුරේත් දකුණේත් ධනපති දේශපාලන කණ්ඩායම් ජාතිවාදයේ පිහිට පතනවා. උතුරේ විග්නේෂ්වරන්ලාගේ ජාතිවාදය දකුණේ ජාතිවාදය පෝෂණය කරනවා. දකුණේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු ජාතිවාදී කණ්ඩායම්වල ජාතිවාදය උතුරේ ජාතිවාදය පෝෂණය කරනවා. මේ දෙකම රටට අහිතකරයි.

මෙවැනි ජාතිවාදී ගැටුම් ඇති නොකර රටේ ජාතික සමගිය ගොඩනගන්න ඕනෑ. එය සිදුකළ හැක්කේ උතුරේත් දකුණේත් ජනතා ගැටළුවලට විසඳුම් ලබාදෙමින් පමණයි. පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් උතුරේත් දකුණේත් ජනතාවට සලකන්නේ නැහැ. ඔවුන්ගේ ඉඩම් ප‍්‍රශ්නය, නිවාස ප‍්‍රශ්නය ආර්ථික ප‍්‍රශ්නවලට උත්තර ලබාදෙන්නේ නැහැ. ඒ නිසා උතුරත් නැගෙනහිරත් පීඩාවක ඉන්නවා. පහුගිය කාලයේ එල්.ටී.ටී.ඊ.ය විසින් කොල්ල කාපු එම ප‍්‍රදේශවල ජනතාවගේ රන් භාණ්ඩ සුළු ප‍්‍රමාණයක් ඡන්ද කාලේ මහින්ද රාජපක්‍ෂ බෙදලා දුන්නා. අනෙක් ඒවට ගත්ත පියවරක් නැහැ. ඉඩම් අහිමි වුණු ජනතාවට නැවත ඉඩම් ලබාදෙන්න කටයුතු කළේ නැහැ. ධීවර ජනතාවගේ ගැටලුවලට විසඳුම් නැහැ. කිසිවකට මේ ආණ්ඩුවලින් විසඳුම් ලබාදී නැහැ. මේ ආණ්ඩුවටත් උතුර-දකුණ භේදයක් නැතිව ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා ජාතිවාදය මතුවීම මේ ආණ්ඩුවටත් වාසියක් වෙලා තියෙනවා. ජාතිවාදය මතුවීමෙන් ඇත්ත ජනතා ප‍්‍රශ්න යට යන එකට මේ ආණ්ඩුවත් කැමතියි. විග්නේශ්වරන්ලා කරන්නේත් උතුරේ ජනතාවගෙන් ඔවුන්ට එල්ල වන විරෝධය මගහැරගන්න ජාතිවාදය වපුරවන එකයි.

උතුරු පළාත් සභාවේ බලය ගත්ත විග්නේශ්වරන් ඇතුළු ටී.එන්.ඒ. කණ්ඩායමට ජනතාවට කිසිවක් ලබාදෙන්න බැරිවුණා. උතුරේ ජනතාවගේ ආර්ථීක ප‍්‍රශ්නවලට ධීවර ජනතාවගේ ප‍්‍රශ්නයට පිළිතුරක් ලබාදෙන්න ඔවුන් අසමත් වුණා. ඒ නිසාම උතුරේ ජනතාව ඔවුන් පිළිබඳව කළකිරීමකින් ඉන්නවා. අන්තිමේදී උතුරේ ධීවර ජනතාවගේ ප‍්‍රශ්න විසඳගන්න ඔවුන්ට ජවිපෙ හොයාගෙන එන්න සිදුවුණා. උතුරේ ජනතාවන්ට පානීය ජලය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් තිබෙනවා. නමුත් උතුරු පළාත් සභාවට ආණ්ඩුවෙන් වෙන්කරපු මුදල් නිසි ලෙස පාවිච්චි කරලා ඔවුන්ට ජල යෝජනාවක් ගේනන බැරිවුණා. පළාත් සභාවේ මන්ත්‍රී‍රවරුන්ට එරෙහිව මූල්‍ය චෝදනා එල්ල වී තිබෙනවා. උතුරේ ජනතාව දැන් සූදානමින් ඉන්නවා දකුණ සමඟ එකතු වෙලා අයිතීන් වෙනුවෙන් සටන් කරන්න. ඒකට විග්නේෂ්වරන්ලා කැමැති නැහැ. එය ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට බාධාවක්. ඒ නිසා ජනතාවගෙන් එල්ල වන විරෝධය මගහරවා ගන්න විග්නේෂ්වරන් ඇතුළු ටී.එන්.ඒ. සංවිධානය ජාතිවාදය බෙදුම්වාදය නැවත කරළියට ගේනවා. රට තුළ සමාජය තුළ වැරදි සංවාදයක් හදනවා.

මේ වනවිට දකුණේ ආණ්ඩුවත් ජනතා ප‍්‍රශ්න විසඳන්න අසමත් කියලා ඔප්පු කර තිබෙනවා. බදු බර පටවමින් භාණ්ඩ මිල ඉහළ යවමින් ආණ්ඩුව කටයුතු කරනවා. ඉතිහාසයේ පළමු වතාවට 15%ක් වැනි ප‍්‍රමාණයක් වැට් බද්ද වැඩිකළා. බද්ද ක්‍රියාත්මක වෙන්න කලින් බඩුමිල ඉහළ ගියා. රාජ්‍ය සේවකයින්ගේ ප‍්‍රශ්න, අධ්‍යාපන ප‍්‍රශ්න, යට ගහන්න ආණ්ඩුවටත් ජාතිවාදී ප‍්‍රශ්න ඇතිවෙන එක වාසියක් වෙලා තියෙනවා. විග්නේෂ්වරන්ලා ඉටු කරමින් ඉන්නේ දකුණේ ධනපති දේශපාලකයින්ගේ උවමනාවයි.

අනෙක් පැත්තෙන් පරාජයට පත්වුණු මහින්ද රාජපක්‍ෂලා නැවත බලයට එන්න ජාතිවාදය වපුරනවා. ශ්‍රීලනිපය දෙකට බෙදිලා මැයි රැලි දෙකක් පවත්වන්න යනවා. මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමට නැවත බලයට එන්න බැරි අර්බුදයක ඉන්නවා. ඔවුන්ට පොදු ජනතාවගේ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරන්න හැකියාවක් නැහැ. පහුගිය කාලයේ ඔවුන් තෙල් මිල අඩු කරන්න, බදු බර අඩුකරන්න කියලා උද්ඝෝෂණ කළේ නැහැ. රට වටේ ගිහින් පොල් ගැහුවේ දෙවියන්ට කණ්නලව් කළේ තමන්ට එරෙහිව කරන පරීක්‍ෂණ නවත්වන්න කියලයි. එෆ්.සී.අයි.ඩී. එක අහෝසි කරන්න කියලයි. ඔවුන් නැවත බලයට එන්න කෙටි මගක් හොයනවා. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ ඇතුලු කණ්ඩායම ජාතිවාදය වපුරන්න හදනවා. මේ ජාතිවාදයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා අපේ රටේ ජනතාව සංවේදී විය යුතුයි. මේ රට වෙන් කිරීමට ජනතාව බෙදීමට, කරන මේ උත්සාහයන් නතර කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ රට දෙකඩ කරන, ජනතාව අසමගි කරන, ජාතිවාදය අවුළුවන කිසිදු යෝජනාවකට සහාය දෙන්නේ නැහැ. රට බෙදීමට ඉවහල් වන කිසිදු යෝජනාවකට ඉඩ දෙන්නෙත් නැහැ. විග්නේෂ්වරන්ලා ගෙන එන යෝජනා නිසා සමස්ත උතුරේ ජනතාවට එරෙහිව දකුණ උසි ගැන්වීම නතර කළ යුතුයි. උතුරේ, නැගෙනහිර, ජනතාවගේ ප‍්‍රශ්නය ෆෙඩරල් නොවේ. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමයි. එම නිසා දෙපැත්තේ සිට ජාතිවාදය අවුළුවන ධනපති පාලකයින්ගේ ගොදුරු බවට පත් නොවී ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැයි දිනය කියන්නේ ලෝක වැඩකරන ජනතාව එකට එකතු කරන දිනයක්. ජාති භේදයෙන් තොරව පීඩාවට පත්වූ ජනතාව එකතු වී අරගල කරන දිනයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදී ලෙස බෙදලා පාලකයින්ට වාසි ලබාගන්න ධනපති පක්‍ෂ විසින් ගෙනයන උත්සාහය පරාජයට පත්කළ යුතුය. වසර 68ක් මුළුල්ලේ මේ ධනපති පාලකයින් අපේ රට පාලනය කරලා ජනතාවට ලබාදුන් දෙයක් නැහැ. එජාපය, ශ්‍රීලනිපය වෙන වෙනම පාලනය කරලා ඔවුන් අසමත් බව ඔප්පු කර තිබෙනවා. දැන් හවුලේ පාලනයත් අසමත් බව ඔප්පු වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව ණයට කන, දඩ ගහන, බදු ගහන වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති පැත්තකට දාලා නව ආර්ථිකයක් නව සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනෑ. අපේ රටේ සියලුම ක්ෂේත‍්‍ර නියෝජනය කරන කණ්ඩායම් සිංහල, දෙමළ භේදයක් නොමැතිව ඒකරාශී විය යුතුයි.

ජාතිවාදය කියන්නේ ධනපති දේශපාලන කණ්ඩායම්වල නොහැකියාව ඔප්පු කිරීමක්. ජනතාවගේ පොදු ප‍්‍රශ්න ගැන හැඟීමක් නැති දේශපාලන නායකයින් ජාතිවාදය වපුරුවමින් ජනතාව බෙදීමේ උත්සාහය පරාජයට පත්කළ යුතුයි. උතුරේත් දකුණේත් ජාතිවාදය පරාජයට පත්කළ යුතුයි. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා උතුරේ ජාතිවාදය පරාජයට පත්කිරීමට උතුරේ ජනතාවගේ ගැටළුවටලට විසඳුම් ලබාදෙන්න කියලා. දකුණේ ජාතිවාදය පරාජය කළ හැක්කේ උතුරේ ජාතිවාදය පරාජය කිරීමෙන්. ජාතිවාදය කුමණ පැත්තෙන් ආවත් එය රටට අහිතකරයි. මෙම ජාතිවාදී ප‍්‍රශ්නය ඉතාම සංවේදී එකක්. ඉතා ඉක්මනින් ඇවළවිය හැකි ප‍්‍රශ්නයක්. ඒ නිසා මාධ්‍ය හරහා විවිධ ප‍්‍රවෘත්ති නිර්මාණය කරනවා. ඒ නිසා අපේ රටේ ජනතාව සංයමයකින් යුක්තව සත්‍යය තේරුම් ගත යුතුයි. මෙම තත්වය පරාජය කිරීම සඳහා ජනතාව සමගියෙන් කටයුතු කළ යුතුයි.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“පහුගිය කාලය තුළ එෆ්.සී.අයි.ඩී.යට පැමිණිලි විශාල ප‍්‍රමාණයක් ලැබී තිබුණා. ඉන් පැමිණීලි 41ක් පමණ පරීක්‍ෂණ අවසන් කර නීතිපතිට යවා තිබෙනවා. ඉන් ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ සිදුවීම් 3කට හෝ 4කට පමණයි. තවත් පරීක්‍ෂණ කළ යුතු පැමිණිළි 39ක පමණ ප‍්‍රමාණයක් ඉතිරිව තිබෙනවා. මෙම පරීක්‍ෂණවල වගකීම තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආණ්ඩුවටයි. එය එෆ්.සී.අයි.ඩී. එකේ ප‍්‍රශ්නයක් නෙවෙයි.

අනුර දිසානායක සහෝදරයාට එරෙහිව මූල්‍ය වංචා චෝදනා නැහැ. බංකොළොත් වුණූ දේශපාලනඥයෙකුගේ වෙබ් අඩවියක් මගින් බොරු ප‍්‍රවෘත්ති නිර්මාණය කරනවා. තමන්ගේ බිරිඳ එෆ්.සී.අයි.ඩී.යට කැඳෙව්වාම එම ප‍්‍රවෘත්තිය යට ගහන්න වෙනත් අයට චෝදනා එල්ල කරනවා. ඒ චෝදනාවලට අපි උත්තර දෙන්නේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරන්න මැදිහත් වුණාට ඔහුගේ දේශපාලනය රැඳී තිබුණේ ජාතිවාදය මත පමණමයි. ඔහුගේ පාලන කාලය තුළ උතුරට විශාල පීඩනයක් එල්ල කළා. උතුරේ සිවිල් පාලනය ගොඩනගන්න ඉඩ දුන්නේ නැහැ. ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ජාතිවාදය වැපිරවීමට උත්සාහ කළා. මේ වනවිටත් ඔහු කරමින් තිබෙන්නේ ජාතිවාදය පදනම් කරගත් දේශාපලනයයි.

මැතිවරණවලින් ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුව වැටුප් වැඩිකරනවා කිව්වාට වැටුප් වැඩිකළේ රාජ්‍ය සේවකයින්ට විතරයි. සුළු ප‍්‍රමාණක් වැඩි කරලා අනෙක් පැත්තෙන් බදු ගහලා, ඒ මුදල අයකර ගන්නවා. රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවුණාට අනෙකුත් බහුතර ජනතාවට මේ බදු බර දරන්න සිදුවෙලා තිබෙනවා. 15% දක්වා වැට් බද්ද වැඩි කිරීමෙන් බඩු මිල විශාල ලෙස වැඩිවෙනවා. මේ ආණ්ඩු නැවත නැවත ඔප්පු කරමින් තිබෙනවා තමන්ට ආර්ථික අර්බුදයට උත්තරයක් නැහැ කියලා. එකම විසඳුම ජනතාවගේ සහන කැපීම සහ ජනතාවට බදු බර පැටවීම පමණයි. ඒ නිසා අපේ රටේ ජනතාව ආණ්ඩු මාරු කරනවා වෙනුවට මේ ආර්ථික ක‍්‍රමය වෙනස් කර නව සමාජ ක‍්‍රමයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසිය යුතුයි. 

මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේම පෞද්ගලීකරණයයි. ශ්‍රී ලංකන් එයාර් ලයින් පාඩු ලබන බව ඇත්ත. ඒ සඳහා ජනතාව වගකිව යුතු නැහැ. වගකිව යුත්තේ රට පාලනය කළ පාලකයින්. පහුගිය රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ රාජපක්‍ෂලාගේ වුවමනාවට ඇතිකරපු මිහින් ලංකා නිසා විශාල පාඩුවක් දරන්න සිදුවූයේ එයාර් ලංකා ආයතනයටයි. ආණ්ඩුවකට එක ආතනයක් පාඩු නැතිව පවත්වාගෙන යන්න බැරිද? රටේ තියෙන එක ආයතනයක් ගොඩ ගන්න බැරිව මේ ආණ්ඩුව රටක් ගොඩගන්නේ කොහොමද? පුද්ගලික සමාගමකට ආයතනයක් ගොඩගන්න පුළුවන්කම තිබෙනවා නම් ආණ්ඩුවට ඒ ආයතනය ගොඩගන්න බැරි ඇයි? ඒ නිසා මේ ආණ්ඩුවේ අසමත්කම තව තවත් ඔප්පු කරමින් ඉන්නවා. බැරිකම වහගන්න වෙන වෙන කතන්දර ගොතනවා. ඒ නිසා ඔවුන් පෞද්ගලීකරණයේ පිහිට පතමින් ඉන්නවා.”

Facebook
Twitter
LinkedIn