දූෂණ විරෝධී සමුළුවේ අගමැති නියෝජනය දූෂිතයෙකුට

“හයත් රිජන්සි” වංචාව පිළිබඳව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කොට ඇති නඩුවේ ප‍්‍රධාන චූදිතයෙකු වන නීල් බණ්ඩාර හපුහින්න නැමැත්තා දූෂණ විරෝධී සම්මන්ත‍්‍රණයක් සඳහා හයිටි රාජ්‍ය වෙත යැවීමට යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

නීල් බණ්ඩාර හපුහින්න නැමැති මෙම නිලධාරියා දැනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස සේවය කරයි. අධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් අත්හිටුවා ඇති අතර හෙට (29) දින අධිකරණයට ඉදිරිපත් කරන මෝසමක් මගින් ඔහුට මෙම සංචාරය සඳහා අධිකරණයේ අවසරය ලබා ගැනීමට නියමිත ය. ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ පසුව මෙලෙස අධිකරණ අවසරය මත ඔහු විදේශ ගත වන දෙවන අවස්ථාව මෙයයි.

කොළඹ, කොල්ලුපිටියේ ඉදි කරන “හයත් රිජන්සි” ගොඩනැගිල්ල සෙලින්කෝ සමූහ ව්‍යාපාරය වෙතින් රජයට පවරා ගෙන පසුව ශ‍්‍රී  ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ලිට්රෝ ගෑස් සමාගමේ මුදල් රුපියල් බිලියන ගණනක් යොදා වංචනික ලෙස කැනවිල් හෝල්ඩිංග්ස් නැමති සමාගමට පැවරීම පිළිබඳ වංචාවට මෙම නිලධාරියා චෝදනා ලැබ ඇත. ඔහු කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම සහ ලංකා හොස්පිට්ල්ස් සමාගම යන ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා සමග රාජපක්ෂ පවුලේ බරපතල මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ මෙම නිලධාරියා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙකු බවට පත් කිරීමත් එමගින් එම වංචා පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලීසියට බලපෑම් කළ හැකි තත්ත්වයට පත් කිරීමත් පිළිබඳ පොලීසියේ උසස් නිලධාරීන් විරුද්ධ වුවද එම විරෝධතා නොතකා ඔහුට එම තනතුරේ දිගටම කටයුතු කිරීමට ඉඩ හරින ලදි.  මෙය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද දැනුවත්ව සිදු වී ඇති අතර හපුවින්නගේ මෙවර විදේශ සංචාරයත් සාගල රත්නායක හා අගමැති වික‍්‍රමසිංහ දැනුවත්ව සිදු කරන්නක් බවද වාර්තා වේ. 

රුපියල් බිලියන ගණනින් වංචා සිදු කළ රාජපක්ෂ පාලනයේ ඉහළම නිලධාරීන්ට මෙලෙස වරදාන දෙමින් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව මෙලෙස යහපාලනය ගොඩනගන්නේ කෙසේද යන්නත් විශේෂයෙන් දූෂණ විරෝධී සමුළුවකට මෙවැනි පුද්ගලයෙකු යැවීම සිදු කරන්නේ කුමන අරමුණින්ද යන්නත් පිළිබඳ බරපතල සැක මතුවේ.

Facebook
Twitter
LinkedIn