
අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇතුළු පිරිසක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා නාවික හමුදා මූලස්ථානයේ දී හමුවී තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ යුද කටයුතු පිළිබඳ කාර්යාංශයේ සැලසුම් වැඩසටහන් සහ මෙහෙයුම් නියෝජ්‍ය සහකාර ලේකම් වෝල්ටර් ගිම්හාන් මහතා ඇතුළු පිරිස දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් වැදගත් වන කරුණු පිළිබඳ එහි දී සාකච්ඡා කර ඇත.
එසේ හමුවක් සිදුවූ බවත් තවදුරටත් සුහදතාව වර්ධනය කරගැනීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ බවත් නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.
පසුගිය යුද සමයේ ඇමරිකා එක්සත් ජනපදය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර ඇති කර ගත් ආරක්ෂක ගිවිසුමේ කොන්දේසි මත මෙවැනි සාකච්ඡා සිදුවෙන බවත් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ලංකාවට බලපෑම් එල්ලකරන්නේ යැයි ජනතාවට පවසන ආණ්ඩුව මෙවැනි සාකච්ඡා ප්‍රතික්ෂේප නොකිරීම සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කළ යුතු බවත් ආරක්ෂක විශ්ලේෂකයන් පවසා සිටී. වැඩි දුරටත් අදහස් දක්වන ඔවුන් පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය මෙවැනි, සහයෝගීතාව වර්ධනය කර ගැනීම, සුහදතාව වර්ධනය කරගැනීම වැනි මටසුමට කරුණු මතුකරමින් ඔවුන්ට අවශ්‍ය දිසාවට රටේ ආරක්ෂාව යොමු කරවා ගැනීම සඳහා ක්‍රමාණුකූළව ආරක්ෂක අංශ මෙහෙයවන බවයි.









