
ජනාධිපතිගේ දන්සැල් දීමට රුපියල් කෝටි 193 යි
අය-වැය හිඟය රුපියල් කෝටි 1,36,100 යි.
ණය ගෙවීමට රුපියල් කෝටි 1,26,500 යි.
එක් පුද්ගලයකු මත බදු බර රුපියල් 52,644 යි.
ළමා තැන්පත් ගිණුම්වලටත් බදු.
මරණාධාර සමිති ගිණුම්වලටත් බදු
ජනාධිපතිවරණය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී මේ වන විට ආරම්භ කර තිබෙන භෝජන සංග්‍රහ සඳහා අමතර වියදම් වශයෙන් රුපියල් කෝටි එකසියඅනූතුන (193* ක් වෙන් කරගෙන තිබීම ඇතුළු මෙතෙක් හෙළි නොවී තිබූ අය-වැය රහස් රාශියක් මේ වන විට හෙළි වෙමින් තිබේ.
මෙම වසරට අදාළ අය-වැය ඉදිරිපත් කිරිමේ දි ජනාධිපතිගේ වියදම් වශයෙන් රුපියල් අටසියපනස්හය කෝටි අනූඑක්ලක්ෂ හැත්තෑදහස (රු. 856,91,76,000* ක් වෙන් කරගෙන තිබූ අතර, ජනාධිපතිවරණයට සූදානම් වීමත් සමඟ එම මුදල රුපියල් එක්දහස් හතළිස්නවකෝටි හැත්තෑඑක්ලක්ෂ විසිතුන්දහස (1,049,71,23,000* ක් දක්වා ඉහළ දමාගෙන තිබේ. වැඩි කරගෙන තිබෙන මුදල රුපියල් එකසියඅනූදෙකෝටි හැත්තෑනවලක්ෂ පණස්තුන්දහස (රු. 192,79,53,000* ක් වේ.
අය-වැය ඇස්තමේන්තුව (කෙටුම් පත* 2015 මඟින් මේ තොරතුරු අනාවරණය වේ. මේ අතර, වර්ෂය අවසානයේ දී ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් ජනාධිපතිවරයාගේ වාහන සංචිතයට රුපියල් තිස්කෝටියකට අධික අධි ආරක්ෂිත රථද එක් කර ගන්නා ලදී. මෙම ආරක්ෂක රථ මිල දී ගැනීම සහ අමතර රුපියල් කෝටි 173 කට ආසන්න මුදලක් වෙන් කර ගැනිම තනිකරම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදු කර අති බව අනාවරණය වේ.
එමෙන්ම ඉදිරිපත් කරන ලද 2015 වර්ෂය සඳහා වූ අය-වැය මඟින් මුළු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් කෝටි 93,200 සිට රුපියල් කෝටි 1,09,900 ක් දක්වා ඉහළ දැමීමට සැලැසුම් කර තිබේ. මේ අනුව ඉදිරි වසරේ දි එක් පුරවැසියකු මත පැටවෙන වක්‍ර බදු බර රුපියල් 44,809 යි ශත 69 සිට ලබන වසරේ දි රුපියල් 53,414 යි ශත 63 ක් දක්වා ඉහළ දමා තිබේ.
එමෙන් ම දැනට අය කරමින් පවතින ‘තැන්පතු පොළී මත රඳවා ගැනීමේ බද්ද’සංශෝධනය කරමින්, ළමා ඉතිරි කිරීමේ ගිණුම් හා ගම්වල පිහිටුවාගෙන තිබෙන ‘මරණාධාර සමිතිවල’ඉතිරි කිරිමේ තැන්පතු ගිනුම් මෙන් ම වෙනත් පුණ්‍යායතන සහ සුභසාධක සමිතිවල ඉතිරි කිරිමේ ගිණුම්වලට ලබා දෙන පොළියෙන් ද බදු අය කර ගැනීමට සැලැසුම් කර ඇත. මේ සඳහා ‘පොළී මුදලේ ප්‍රමාණය නොසලකා 2.5 ක’රඳවා ගැනීමේ බද්දක් පනවා තිබේ.
රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු සියලූම මුල්‍ය ආයතනවල තැන්පතු පොළී මත මෙම බදු අය කර ගනී. මෙයින් වඩාත්ම බලපෑමක් වන්නේ මිලියන ගණනක් වූ ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලට ලැබෙන පොළිය මත බදු පැනවීම බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ. එසේ ලැබෙන පොළි මුදල රුාපියල් සියක් නම්. එයින් රුපියල් දෙකයි ශත පණහ (රු. 2.50* ක් බදු ලෙස මේ මඟින් ලබා ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.
ලබන වසරේ අත්ත අය-වැය හිඟය රුපියල් කෝටි 52,100 ක් බව ආණ්ඩුව ප්‍රකාශ කළද, එහි සත්‍ය ප්‍රමාණය රුපියල් කෝටි 1,36,100 ක් බව හෙළි වේ. ආණ්ඩුව ඉදිරිපත් කරන ණය හිඟයට ලබන වසරේ ගෙවිය යුතු රාජ්‍ය ණය වාරික රුපියල් කෝටි 84,000 එකතු කිරීමෙන් ඇත්ත හිඟය නිර්මාණය වේ. මේ අතර, ණය පොළී වශයෙන් රුපියල් කෝටි 42,500 ක් ඇස්තමේන්තු කර ඇත. ණය වාරික සහ පොළී ගෙවීමට රුපියල් කෝටි 1,26,500 ක් ඇස්තමේන්තු කර තිබේ.
මෙම අය-වැය මඟින් ගුරු සහායකයන් 50,000 ක් උසස් පෙළ සමතුන්ගෙන් බඳවා ගැනීමට කර තිබෙන යෝජනාව ද ප්රශ්නකාරී බව පෙන්වා දෙති. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට බඳවාගෙන සිටින උපාධිධාරීන් ගම් නියම්ගම්වල පැළ වර්ග නිරීක්ෂණය කිරීමට සහ කුකුළු පැටවුන් ගැන බැලීමට යෙදවා උසස් පෙළ සමතුන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම ප්රශ්නකාරී බව ද හෙළි කරති.









