රාජ්‍ය වියදම් කළමනාකරණය, අනවශ්‍ය වියදම් සීමා කිරීම සහ මහජන මුදල් වගකීමෙන් පරිහරණය කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව කථානායක කාර්යාලයේ වියදම් පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් 2026 වසරේ අයවැය ප්‍රතිපාදන 2025 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 48.55කින් අඩු කර තිබේ.
ඒ අනුව, 2025 වසරේ කථානායක කාර්යාලය සඳහා වෙන් කර තිබූ සමස්ත වාර්ෂික අයවැය ප්රතිපාදනය රුපියල් මිලියන 277.95ක් වූ අතර, 2026 වසර සඳහා එය රුපියල් මිලියන 229.4ක් දක්වා අඩු කර ඇත. මේ අනුව, මස්ත අයවැය ප්රතිපාදනය 17.47%කින් අඩු කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් පාලනය කිරීම සඳහා සැලකිය යුතු මූල්‍ය සීමා කිරීම් සිදුකර තිබේ. 2025 වසරේ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 269.1ක මුදල 2026 වසරේදී රුපියල් මිලියන 175.15ක් දක්වා අඩු කර ඇත. එය රුපියල් මිලියන 93.95ක අඩු කිරීමක් වන අතර, ප්‍රතිශතයක් ලෙස 34.9%ක අඩුවීමකි.
අනවශ්‍ය වියදම් සීමා කිරීමේදී විශේෂයෙන් කාර්යාලයේ වියදම් පාලනයේදී ඉන්ධන, දීමනා සහ නඩත්තු වියදම් සඳහා වෙන් කරන අයවැය ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස අඩු කර තිබේ.
ඒ අනුව, 2025 වසරේ ඉන්ධන සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 81ක මුදල 2026 වසරේදී රුපියල් මිලියන 31ක් දක්වා අඩු කර ඇත. ඒ අනුව ඉන්ධන සඳහා වෙන් කළ ප්රතිපාදනය රුපියල් මිලියන 50කින් එනම් 61.7%කින් අඩු වී තිබේ.
එමෙන්ම අනෙකුත් දීමනා සඳහා 2025 වසරේ වෙන් කර තිබූ රුපියල් මිලියන 67ක මුදල 2026 වසරේදී රුපියල් මිලියන 30ක් දක්වා අඩු කර ඇත. එය රුපියල් මිලියන 37ක අඩු කිරීමක් වන අතර, ප්‍රතිශතයක් ලෙස 55.2%ක අඩුවීමකි.
වැටුප් හා වේතන සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 36ක ප්රතිපාදනය ද 2026 වසරේදී රුපියල් මිලියන 28ක් දක්වා අඩු කර තිබේ. එමෙන්ම වාහන නඩත්තු වියදම් සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 25 සිට රුපියල් මිලියන 20 දක්වා අඩු කර ඇත.
මෙම සංඛ්‍යාලේඛන මඟින් පැහැදිලි වන්නේ කාර්යාලයේ දෛනික මෙහෙයුම් සඳහා අවශ්‍ය සේවා පවත්වාගෙන යන අතරතුර, ඉන්ධන, දීමනා සහ නඩත්තු වියදම් වැනි අංශවල අයවැය ප්‍රතිපාදන සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, 2026 වසර සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 229.4ක සමස්ත අයවැය ප්රතිපාදනයෙන් නොවැම්බර් මස 20 වන දින වනවිට වැය කර ඇති මුදල රුපියල් මිලියන 86.31කි. ඒ අනුව එම දිනය වනවිට ඉතිරිව ඇති මුදල රුපියල් මිලියන 143.09කි.
එම වාර්තාවට අනුව පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ රුපියල් මිලියන 175.15ක මුදලින් වැය කර ඇත්තේ රුපියල් මිලියන 81.78ක් පමණි. ඒ අනුව එම අංශය යටතේ ඉතිරිව ඇති මුදල රුපියල් මිලියන 93.37කි.
2025 වසරේ සම්පූර්ණ වර්ෂය තුළ කාර්යාලයේ සමස්ත වියදම රුපියල් මිලියන 98ක් වූ අතර, 2026 වසරේ නොවැම්බර් 20 වනවිට වාර්තා වී ඇති සමස්ත වියදම රුපියල් මිලියන 86.31කි. ඒ අනුව 2025 වසරේ සම්පූර්ණ වාර්ෂික වියදමට සාපේක්ෂව 2026 නොවැම්බර් 20 වනවිට වියදම රුපියල් මිලියන 11.69කින් අඩු මට්ටමක පවතී.
මහජන මුදල් කළමනාකරණයේ වෙනසක්
මෙම මූල්‍ය වාර්තා දෙක සංසන්දනය කිරීමේදී පැහැදිලි වන වැදගත් කරුණ වන්නේ කථානායක කාර්යාලයේ වියදම් කළමනාකරණයේදී අයවැය ප්‍රතිපාදන අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබීමයි.
විශේෂයෙන්ම ඉන්ධන සඳහා වෙන් කළ මුදල 61.7%කින්ද, අනෙකුත් දීමනා සඳහා වෙන් කළ මුදල 55.2%කින්ද අඩු කිරීම මඟින් වියදම් සීමා කිරීම කෙරෙහි යොමු වී ඇති අවධානය පැහැදිලි වේ.
2026 නොවැම්බර් 20 වනවිටත් සමස්ත අයවැය ප්රතිපාදනයෙන් රුපියල් මිලියන 143.09ක් ඉතිරිව තිබීම ද මෙහිදී අවධානයට ලක්විය යුතු කරුණකි.
රාජ්‍ය ආයතනවල මූල්‍ය කළමනාකරණය පිළිබඳව මහජන අවධානය යොමුව ඇති පසුබිමක, කාර්යාලයක අත්‍යවශ්‍ය කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යමින් වියදම් සීමා කිරීම සඳහා ගෙන ඇති මෙම ක්‍රියාමාර්ග රාජ්‍ය මුදල් වගකීමෙන් පරිහරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.










