අනතුරට පත් වන අලි ඇතුන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදා සහාය

අනතුරට පත් වන අලි ඇතුන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදා සහාය

දිවයිනේ විවිධ ප්‍රදේශවල අනතුරට ලක්ව සිටින වන අලි සහ ඇත් පැටවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයේ විශේෂ ඉල්ලීමකට අනුව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් විශේෂ සහන මෙහෙයුම් අද (22) දින ආරම්භ කර තිබේ.

පසුගිය දිනවල දිවයිනේ කලාප කිහිපයකින්ම අනතුරට පත් වනජීවීන් පිළිබඳව හදිසි තොරතුරු වාර්තා වී ඇති පසුබිමක් තුළ මෙම පියවර ගෙන ඇත. ඒ අනුව:

අනුරාධපුරය රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිහිඹියගොල්ලෑව ග්‍රාම සේවා වසමේ වේවැල්කැටිය ගම්මානයේ වැටී සිටි ඇත් පැටවා වනජීවී නිලධාරීන් විසින් මුදාගෙන, අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර හා මූලික පරීක්ෂණ සිදුකර ඇත. අනතුරුව වැඩිදුර පුනරුත්ථාපනය සඳහා එම පැටවා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කිරීමට නියමිතය.

පොළොන්නරුව ගල්ලෑල්ල සහ මානික්කම්පට්ටිය ආශ්‍රිත ප්‍රදේශයේ අනතුරට ලක්ව ඇති බවට වාර්තා වූ අවුරුදු 7ක් පමණ වන ඇත් පැටවා සම්බන්ධයෙන් වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහය ඇතිව කඩිනම් නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වේ.

සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමළ කොටස 04 ග්‍රාම සේවා වසමෙන් වාර්තා වූ අලි පැටවාගේ තත්වය පිළිබඳවද විශේෂ අවධානය යොමු කර තිබෙන අතර මීට පැය 06කට පමණ පෙර සිට වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වන අලි සම්පත රැකගැනීම ජාතික වගකීමක් ලෙස සලකා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවශ්‍ය උපරිම සහාය, ක්ෂේත්‍ර ප්‍රවේශය සහ ආරක්ෂාව සැලසීමට ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටියි.

ඉදිරියේදීත් අනතුරට ලක්වන වනජීවීන් කඩිනමින් මුදාගැනීම හා අලි-මිනිස් ගැටුම පවතින සංවේදී ප්‍රදේශ නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම සඳහා මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්