ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ.
මෙහිදී පසුගිය පෙබරවාරි මාසයේ පැවති හමුවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා යහපත් හා ශක්තිමත් අයුරින් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. විශේෂයෙන් තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර දේශපාලන පක්ෂ ලෙස පොදු ජනතාව සහ තරුණ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ සහ ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙන්ම දෙරටේ දේශපාලන පක්ෂ අතරද අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා ඒ සම්බන්ධයෙන් යොමු කරන අවධානය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.
තවද, ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්වයන් හමුවේ දෙරට මුහුණ දෙන අභියෝග සහ ඉදිරියේදී ගත හැකි පොදු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන සඳහා පවතින අවස්ථා සහ දෙරට අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.












