සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ගේ නීතිඥයා ලෙසින් මුලින් පෙනී සිටීමෙන් පසුව සුරේෂ් සලේගේ නීතිඥයා ලෙසින් ද පෙනී සිටි උදය ගම්මන්පිල නීතිය නොදන්නා බව ඊයේ (10) ඔහුගේ ප්‍රකාශයකින් ඔප්පු කරනු ලැබීය.
පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පොලිස්පතිවරයාට ඍජුව මරණීය තර්ජනයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් අත්තඩංගුවට ගත් අවස්ථාවේ උදය ගම්මන්පිල කළ ප්‍රකාශයකින් ඔහු නීතිය නොදන්නා බව තහවුරු කර ගනු ලැබීය.
ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ “ඉතින් රටට රජෙක් පහළ වෙලා කියලා මේ අත්තඩංගුවට ගැනීම හරහා අපට දැන ගන්න ලැබුණා. රජතුමාට ජයවේවා කියනවාද නැද්ද කියලා මම කල්පනා කළේ.” යනුවෙනි.
නීතිඥ සාගර කාරියවසම්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වෙනි වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීම පිළිබඳව ද්වේශ සහගත සහ විකෘති අර්ථකථනයක් ලබා දෙමින් ගම්මන්පිල මෙලෙස ප්‍රකාශ කරනු ලැබීය. එහෙත් 2021ජනවාරි 06 වෙනි දින පාර්ලිමේන්තුවේ දී එම වගන්තිය සංශෝධනය කරමින් “මහ රැජින කෙරෙහි නොහොත් ආණ්ඩුව කෙරෙහි යන වචන වෙනුවට ජනාධිපතිවරයා කෙරෙහි හෝ ජනරජයේ ආණ්ඩුව කෙරෙහි යන වචන” ආදේශ කිරීමෙන් සංශෝධනය කර තිබේ. උදය ගම්මන්පිල ද කැබිනට් ඇමතිවරයෙකු ලෙසින් සිටියදී එම සංශෝධනය කර තිබිණි. එසේ තිබියදී දණ්ඩ නීති සංග්‍රහය සම්බන්ධයෙන් විකෘති අර්ථකථන ලබා දීම ඔහුගේ නීතිඥභාවය සම්බන්ධයෙන් ද බරපතළ ගැටළුවක් මතු කරන්නක් බව නීති විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.










