උතූරේ ධීවරයන් 120කට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට නිර්දේශ ලිපි

උතූරේ ධීවරයන් 120කට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට නිර්දේශ ලිපි

උතුරු පළාතේ ධීවරයන් 120කට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට නිර්දේශ ලිපි නිකුත් කිරිම ඊයේ (20) පෙරවරුවේ යාපනය, ඌර්කාවතුරේ (කයිට්ස්) ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

උතුරු පළාතේ ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්, නිෂ්පාදක කණ්ඩායම් 20කට අයත් ප්‍රතිලාභීන් 120 දෙනෙකු වෙත අක්කර එක බැගින් වූ මුහුදු කූඩැල්ලන් වගා බිම් සඳහා වන නිර්දේශ ලිපි මෙයින් පිරිනමා ඇත.

එමඟින් ජලජීවී වගා කළමනාකරණ බලපත්‍ර ලබා ගැනීමට මාවත විවර වේ. රටේ නීල ආර්ථිකය නැංවීමට සහ විදේශ විනිමය ඉපයීමට මෙම ව්‍යාපෘතිය සුවිශේෂී දායකත්වයක් සපයන බව මෙහිදී අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර් පැවසීය.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

මෙහිදී සභාව ඇමතූ ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්,

“මුහුදු කූඩැල්ලන් වගාව යනු වෙරළාසන්න ප්‍රජාවට ස්ථාවර ජීවනෝපායක් සහ ඉහළ ආදායමක් උදාකර දෙන ප්‍රමුඛතම ක්ෂේත්‍රයකි. මෙය මෙරට ‘නීල ආර්ථිකය’ (Blue Economy) ශක්තිමත් කිරීමටත්, රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමටත් සුවිශාල දායකත්වයක් සපයයි. ප්‍රජා මූලික ජලජීවී වගා ව්‍යාපෘති දිවයින පුරා ව්‍යාප්ත කිරීම හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නංවාලීමටත්, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් අප අමාත්‍යාංශය අඛණ්ඩව කැපවී සිටී.”

මෙම අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය, ඌර්කාවතුරේ ප්‍රාදේශීය ලේකම් වනජා සෙල්වරත්නම්, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් සහකාර අධ්‍යක්ෂ පී. නිරූපරාජ් ඇතුළු අමාත්‍යාංශයේ සහ NAQDA ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයෝ සහ ප්‍රතිලාභීහු විශාල පිරිසක් සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්