ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ නේපාලයේ හිටපු අගමැති පුෂ්ප කමල් දාල් අතර හමුවක් අද (18) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදි ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජනබලවේගයත් ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර දේශපාලන පක්ෂයක් ලෙස පැමිණි ගමන් මග පිළිබඳවද සාකච්ඡා කරන ලද අතර නේපාලය තුළ නේපාල කොමියුනිස්ට් පක්ෂයේ අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කර තිබේ.
ජාතික ජන බලවේගය බලයට පත්වීමත් ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳවත්, රාජ්ය සේවයේ හා වතු ආශ්රිත වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමට ගත් ක්රියා මාර්ග සම්බන්ධයෙනුත් විශේෂයෙන්ම දේශපාලන තලයෙන් වංචා දූෂන ඉවත් කිරීම හා වරප්රසාද මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගත් ක්රියාමාර්ග සම්බන්ධයෙනුත් සාකච්ඡා කර ඇත.
තවද මේ වනවිට ශ්රී ලංකාව තුළ ක්රියාත්මක කරනු ලබන `ක්ලීන් ශ්රී ලංකා’ ව්යාපෘතිය, මත්ද්රව්ය මැඩලීමට ගෙන ඇති ක්රියා මාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හා ට්රයිකොන්ටිනෙන්ටල් සමාජ පර්යේෂණ ආයතනයේ විජය ප්රසාද්, නැගෙනහිර චීන පොදු විශ්වවිද්යාලයේමහාචාර්ය ෂින්යු ලූ, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභික බල්රාම් බනකෝටා, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික ගංගා දාල් සහ International People’s Assembly නියෝජිත ටින්ග්ස් චැක් එක්ව සිට ඇති අතර,
මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි මධ්යම කාරක සභිකයින් වන පරිසර ඇමති ධම්මික පටබැඳි, කම්කරු නියෝජ්ය ඇමති මහින්ද ජයසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්යන්තර කමිටු සාමාජිකයින් වන සමාජවාදී ශිෂ්ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්රිය සහ කල්පනා මධුභාෂිණී එක්ව සිට තිබේ.















