තේ කර්මාන්තයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන Ceylon Tea Villages (ලංකා තේ ගම්මාන) 500ක් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන එළඹෙන ජූලි 15 වැනිදා පෙරවරු 9.00ට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
මෙහි ප්‍රධාන සමාරම්භක උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හල්ගොල්ල ග්‍රාමයේ, හපුගස්තලාව වැව අසළදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව අනාවරණය කළේය. ප්‍රධාන උත්සවයට සමගාමීව එදිනම දිවයින පුරා තේ වගාව බහුලව සිදුකෙරෙන දිස්ත්‍රික්ක 14ක් කේන්ද්‍ර කරගනිමින් මෙම ජාතික වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ මෙරට කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ යටතේ තේ දලු අස්වැන්න සහ වගාකරුවන්ගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට මෙන්ම, ඔවුන්ගේ සමාජීය ජීවන තත්වය තේජාන්විත ලෙස වර්ධනය කිරීමටද අපේක්ෂා කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් අවධාරණය කරයි.










