කියුබාවේ නිහඬ විප්ලවවාදියා දිවියෙන් සමුගනී !

කියුබාවේ නිහඬ විප්ලවවාදියා දිවියෙන් සමුගනී !

කියුබානු සන්නද්ධ අරගලය මෙහය වූ ජුලි 26 විප්ලවවාදී ව්‍යාපාරයේ අර්නස්ටෝ චේගුවේරාගේ සහ කියුබානු විප්ලවයේ ප්‍රමුඛ චරිතයක් වූ Ramiro Valdés වයස 94දී තම ජීවිතයෙන් සමුගත් බව කියුබානු රජය නිවේදනය කර ඇත. කියුබානු G2 බුද්ධි සේවයේ නිර්මාර්තෘවරයා වනුයේද Ramiro Valdés ලෙස සැලකේ. තමන්ට පියෙකු නැති වූ ආකාරයක් තමන්ට දැනෙන බව කියුබානු ජනාධිපති Miguel Díaz-Canel නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. කියුබාව එක්සත් ජනපදය සමඟ දැඩි ගැටුම් පැවති කාලවලදී කියුබානු කොමියුනිස්ට් පක්ෂය රටේ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තෝරා ගනු ලැබුවේ Ramiro Valdés වන අතර ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවයේ ගෞරවයට මෙන්ම ඉලක්කයටද ලක් වූ විප්ලවීය චරිතයක් ලෙස සැලකේ.

Ramiro Valdés උපත ලබන්නේ 1932 අප්‍රේල් 28 වන දින කියුබාවේ ARTEMISA ග්‍රාමයේ හි දුප්පත් පවුලකය. ඔහු පාසල් අධ්‍යාපනය අවසන් කළේ නැත. වයස අවුරුදු 21දී එනම්1953 ජූලි 26 වන දින සන්තියාගෝ නුවර මොන්කාඩා බැරැක්කයට එල්ල වූ එයතිහසික ප්‍රහාරයට කැස්ත්‍රෝ සමග ඍජුවම සහභාගී වූ අයගෙන් කෙනෙකි. එම ප්‍රහාරය අතරතුර ඔහු සුළු තුවාල ලබා ෆිදෙල් සහ රාවුල් සමඟ සිරභාරයට පත් වේ. පසුව කියුබාවේ Pins දූපතේ සිරගත කරන ලද අතර 1955 මැයි මාසයේදී පොදු සමාව යටතේ නිදහස් වේ. ඉන් පසුව මෙක්සිකෝවට පිටුවහල් වී 1956 දෙසැම්බර් 2 වන දින කියුබානු වෙරළට ග්‍රැන්මා නෞකාවෙන් නැවත කැස්ත්‍රෝ සමග පැමිණ ඉතිරු වූ 12 දෙනාගෙන් එක් අයෙකු වේ.

ඉන්පසු කියුබාවේ නැගෙනහිරින් පිහිටි කඳුකර වනාන්තරයක් වන සියෙරා මාස්ට්‍රා හි සිදු කරන ලද ගරිල්ලා යුද්ධයේදී, ඔහු ආර්ජන්ටිනාවේ අර්නස්ටෝ “චේ” ගුවේරා (1928-1967) ගේ දෙවන අණදෙන නිලධාරියා ලෙස සේවය කළේය. සුප්‍රකට Santa Clara මෙහෙයුම සිදු කරනුයේ චේ සහ ඔහුගේ නායකත්වය යටතේ වන අතර එය කියුබානු විප්ලවයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය මෙන්ම ඒකාධිපති බැටිස්ටා ගේ අවසානය සිදු කල මෙහෙයුම බව යුධ විශේෂඥයින් පෙන්වා දේ. 1961 සිට 1968 දක්වා සහ පසුව 1979 සිට 1985 දක්වා අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ලෙසත්, තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන අමාත්‍ය (2006-2011) යන උපායමාර්ගික තනතුර ද දැරීය.

වයස 21දී ෆිදෙල් කැස්ත්‍රෝ සමග එක්වන Ramiro Valdés ඔහු සමග මොන්කාඩා ප්‍රහාරය, ග්‍රන්මා නෞකා ගවේෂණය, සියරා වනයේ සිට ගරිල්ලා සටන් මෙහයවිම, විප්ලවීය ජයග්‍රහණය, පසුව චේ ගේ භාෂ්මාවේශ කියුබාවට රැගෙන එම යන සියළු අතිශයින් අනතුරු දායක මෙහෙයුම් වලට සහබාගි වූ නිර්භීත විප්ලවීය චරිතයක් ලෙස සැලකේ.

අඩුවෙන් කතා කරන වැඩියෙන් වැඩ කරන පක්ෂය ලබා දෙන ඕනෑම වගකීමක් කිසිදු පැකිලීමකින් තොරව ඉටු කරනු ලැබූ Ramiro Valdés ජීවමාන විප්ලවීය ආදර්ශයක් ලෙස ලොව පුරා කතා බහට ලක් වී ඇත. විශේෂයෙන් 1962 සිට දැවැන්ත ඇමරිකානු සම්බාධක, ආක්‍රමණ හා කුමන්ත්‍රණ හමුවේ Ramiro Valdés විප්ලවය හා කියුබාව අත්හැර නොයමින් සියළු අසීරු කොන්දේසි යට‍තේ සමාජවාදය වෙනුවෙන් තම ජීවිතය කැපකළේය. මෑතකදී 95 වන උපන්දිනය සැමරූ හිටපු කියුබානු නායක රාවුල් කැස්ත්‍රෝ සමඟ එක් වී කියුබානු විප්ලවය ජයග්‍රහණය දක්වා රැගෙන ගිය ප්‍රධාන නියමුවෙකු මෙන්ම මෑතකදී ට්‍රම්ප් ගේ ඇමරිකානු ආක්‍රමණ තර්ජනයට එරෙහිවද පැවැති උද්ඝෝෂණ වලටද දෙදනා සම්බන්ධ වී සිටියේය.

එසේම කියුබානු විප්ලවයේ ඉහලම නායකයෙකු ලෙස ඉදිරියට ආ වර්තමාන ජනාධිපති MIGUEL DIAS CANEL ඇතුළු නව පරම්පරාවට නායකත්වය භාරදීමට තරම් ඔහු නිහතමානි චරිතයක් වූ බව කියුබානු හා ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දේ. ඇමරිකාව පවා ඉහලින් ගරු කරන කියුබානු බුද්ධි අංශයේ (G2) නිර්මාර්තෘ මෙන්ම කියුබාවේ විප්ලවයේ අණ දෙන නිලධාරියා යන පදවිය දැරූ අතලොස්සක් අතර ඔහු කැපිපෙනෙන නායකයෙකු විය. ඔහුගේ නායකත්වය යටතේ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය වැනි උසස්ම තාක්ෂනය භාවිතා කරන සංවිධානයක් තුලට කොලොම්බියානු ජාතිකයෙක් වූ VICTOR MANUEL ROCHA ඇතුළු කර වසර 40ක් පුරා කියුබාව වෙනුවෙන් ඔත්තු සපයා ගැනීමට සමත් වීම මෙයට හොඳම නිදසුනක් බව ඇමරිකානු මාධ්‍ය මේ අතර පෙන්වා දේ.

ඔහුගේ විරුද්ධවාදීන් පවසා සිටින්නේ Ramiro Valdés යනු විප්ලවීය භාවිතාව තුලදී අරමුණ ජය ගන්නා තුරු එයට නායකත්වය ලබා දෙමින් කොන්දේසි විරහිත ලෙස ඒ සඳහා කැපවෙන අනුකම්පා විරහිත පුද්ගලයෙකු බවය. වචන ස්වල්පයක් කතා කරන එහෙත් වැඩියෙන් වැඩ කරන Ramiro Valdés ඕනෑම අසීරු අවස්තාවක, ඕනෑම වගකීමක්, අසීරු කොන්දේසි යටතේ කරට ගන්නා වානේ මෙන් පන්නරය ලැබූ පුද්ගලයෙක් යයි නම් හෙළි නොකරන හිටපු ඇමරිකානු බුද්ධි අංශ නිලධාරියෙක් මාධ්‍ය වලට සඳහන් කර සිටි බව විදේශ මාධ්‍ය තහවුරු කර කියා සිටි.

“ඔහුගේ ආරක්ෂක දැලට අසු නොවී කියුබාව තුල කිසිවෙකුට ගමන් කළ නොහැකි වුනා. ඔහුගේ අධීක්ෂණය යට‍තේ ඔහුගේ සගයින් ප්‍රති-විප්ලවවාදී සංවිධානවලට වැඩි වැඩියෙන් රිංගා ගැනීමට ඉඩ සැලසී තිබුනා විතරක් නොවේ ඒවායේ බෙදීම් ඇතිකර නායකත්වයන් පවා අල්ලා ගැනීමට ද විශිෂ්ට ලෙස සමත් වී තිබුනා ,” යයි ඔහු තවදුරටත් පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් 2018දී Ramiro Valdés විසින් කියුබානු රූපවාහිනිය සමඟ ඔහු කළ එකම සම්මුඛ සාකච්ඡාවේදී, පවසා සිටියේ

“මම වැඩ කලේ ඉහළින් ලැබුණු නියෝගයකට ප්‍රතිචාර වශයෙන් වශයෙන්. කියුබානු අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ලෙස 1959න් පසු වසරවල ඇමරිකාව සමග ඇති වූ ගැටුම් වල දුෂ්කරම අවධිය කළමනාකරණය කරන්න පක්ෂය මට පැවරුවා. විප්ලවවාදී රජය ආරක්ෂා කිරීම සහ එයට විරුද්ධ වීමට ආයුධ අතට ගත් අයට එරෙහිව ගත යුතු පියවර මෙන්ම ඔවුන් අත්අඩංගුවට ගැනීම, පුනුරුත්ථාපනය කිරීම මගින් අප ලෝකයට ආදර්ශයක් දුන්නා” යයි ඔහු පවසා සිටියේය.

තම ප්‍රධාන අණදෙන නිලධාරියා වූ චේ සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසා සිටියේය.

“චේ මගේ ජීවිතය වෙනස් කල විප්ලවීය නායකයින්ගෙන් කෙනෙක්. ඔහු ඉතා දැඩි තීරණ ගන්නා සහ විශේෂයෙන් ඔහුගේ සමීපතමයන් සමඟ වැඩ කරද්දී සම්මුති විරහිතව තීරණ ගන්නා නමුත් ඒ සමඟම සැමට කාරුණික සහ ඉතා සහෝදරත්වයෙන් අපව ජයග්‍රහණය දක්වා රැගෙන ගිය ශ්‍රේෂ්ට විප්ලවවාදියෙක් “යයි කියා සිටියේය.

“අපි සැවොම කැපවුණු පොදු අරමුණක දී අවධානයේ කේන්ද්‍රස්ථානය වීමට මම කැමති නැහැ,”

කියුබාවේ අඩුම සම්මුඛ සාකච්ඡා ලබා දුන් විප්ලවීය නායකයා ලෙස, නව තාක්ෂනය තුල ලොව සැමදෙනාම ප්‍රසිද්ධිය ගැනීමේ තරඟයක යෙදී සිටින අවස්ථාවක තම නිහඬ භූමිකාව පිලිබඳ Ramiro Valdés පවසා සිටියේ එසේය. ඔහුගේ ප්‍රධාන භූමිකාව තුල ප්‍රධානියා වී තිබියදීත්, ඔහු සැමවිටම ඉතා විචක්ෂණශීලීව තම අරමුණ මත තම කැපවීම පෙන්වන කදිම නිදසුනක් ලෙස මෙම පිළිතුර නව පරම්පරාවට උගන් වනු ලබයි.

ප්‍රසිද්ධියේ පෙනී සිටින අතරතුර සෑම විටම ඔලිව්-කොළ පැහැති නිල ඇඳුමින් සැරසී සිටි Ramiro Valdés, විප්ලවයෙන් පසු කැස්ත්‍රෝ පවුලෙන් නොවන පළමු කියුබානු ජනාධිපතිවරයා වන 2018 දී බලයට පත් Miguel Díaz-Canelට සහාය දැක්වීම සඳහා තම ජීවිතයේ අවසාන කාලය කැප කළේය. පසුගිය වසර දෙක තුළ, කියුබාව පෙර නොවූ විරූ බලශක්ති අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවක සූර්ය බලාගාර ස්ථාපනය කිරීම ඔහු අධීක්ෂණය කරන ආකාරය ද විදේශ මාධ්‍ය නිතිපතා වාර්තා කර සිටියේය.

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ හි දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ද වූ Ramiro Valdés කියුබානු ජනරජයේ ජාතික වීරයෙකු වනුයේ ඔහු ජිවත්ව සිටින කාලය තුල වීම ද විශේෂිත වේ.

“විප්ලවය සහ ෆිදෙල් කෙරෙහි ඔහුගේ පක්ෂපාතිත්වය, විප්ලවීය භාවිතාව, ඔහුගේ කැපවීම, ඔහුගේ නිහතමානීකම සහ ඔහුගේ සරල බව නව පරම්පරාව ගැඹුරින් අධ්‍යයනය කල යුතුයි, ඔහු නවීන ලෝකයේ විවේකය නොඉල්ලූ සැබෑ විමුක්ති කාමි සොල්දාදුවෙක් “යයි කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ 2018දී පවසා සිටියේ ඔහු ජීවතුන් අතර සිටිය දීය.

Ramiro Valdés ගේ නිහතමානිකම අව්‍යාජ විය. එය ඔහු තුළ ඉතා ගැඹුරින් මුල් බැස තිබුණි. ඔහු බොලීවියාවේදී මරා දැමූ අර්නස්ටෝ චේගුවේරා සහ ඔහුගේ සගයන්ගේ දේහයන් සොයා ගැනීම, ගොඩ ගැනීම සහ කියුබාවට ආපසු ගෙන ඒම ද ඔහුට පක්ෂයෙන් පැවරී තිබුණි. සුපුරුදු පරිදි නිහඬව ඔහු මෙම පූජනීය යුතුකම ඉටු කිරීම සඳහා බොලිවියාවට රහසිගතව ගියේය. 1997දී ඔහු චේගේ දේහය කියුබාවේ සැන්ටා ක්ලාරා අනුස්මරණයට (Santa Clara Memorial) ගෙන ආ විට ඔහු හා චේ සටන් කල කලාපය වූ Villa Clara පළාත් සභාව ඔහුව 2019දී Title of Illustrious Son නම් එනම් “කීර්තිමත් පුත්‍රයෙකු” ලෙස නම් කළේය.

එහි දී Ramiro Valdés පැහැදිලිවම සංවේගයට පත් වූ අතර, ඔහු වේදිකාවට පැමිණියේ කඳුළු සලමිනි.

“ඔබ මේ ලබා දුන් ඉහලම ගෞරවය මම අද ලබා ගන්නේ අප සමඟ අද මෙතන සිටිය නොහැකි වූ සිය ගණනක්, දහස් ගණනක් වූ සහෝදර සටන් සගයින් වෙනුවෙන්. ඔවුන්ගේ තරුණ ජීවිත ඉක්මනින් කෙටි වූනා. ජයග්‍රහණය නොදැක ඔවුන් අනාගත පරම්පරාව වෙනුවෙන් මව්බිම වෙනුවෙන් තම ජීවිත පුද කළා. මව්බිම වෙනුවෙන් දිවි පිදීම සදාකල් ජිවත් වීමයි. මොන්කාඩා ප්‍රහාරයේ දී වැටුණු සටන් සගයින්, ග්‍රන්මාවේ ගවේෂණයේදී හා විප්ලවීය ජයග්‍රහණයට පැය කිහිපයකට පෙර මියගිය සහෝදරවරුන් මට මේ අවස්ථාවේ සිහිපත් වෙනවා. ලෝකයේ සියලු මහිමය “ඉරිඟු ඇටයක අඩංගු වේ” යැයි ජොසේ මාර්ටි පැවසු ආකාරයට අප ජිවිත කාලය පුරාවටම සරලව විප්ලවීය ජයග්‍රහණය ආරක්ෂා කිරීමට කැපවිය යුතුයි”

යයි ඔහු පවසා සිටියේ හැඟුම් බරවය.

Ramiro Valdés කියුබාවේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍ය ධූරය, එරට රාජ්‍ය කවුන්සිලයේ උප සභාපති සහ නියෝජ්‍ය අගමැති, නියෝජ්‍ය ජනාධිපති ලෙස ද කටයුතු කළේය. 2010දී, ඔහු මාස ​​කිහිපයක් සඳහා කියුබාවේ ප්‍රධාන සගයා වූ වෙනිසියුලාවට යන්නේ බලශක්ති අංශයේ උපදේශකයෙකු ලෙසය. ඔහු වෙනිසුවෙලාවේ හමුදාව, බුද්ධි අංශ නිර්මාණය, ප්‍රාදේශීය ආරක්ෂා බලකායන් නිර්මාණය සඳහා ද සම්බන්ධ වූ බව විදේශ මාධ්‍ය පෙන්වා දේ.

“කමාන්ඩර් Ramiro Valdés යනු තම විප්ලවීය ජීවිතයේ සෑම මොහොතකම දීම ෆිදෙල් සහ රාවුල්ගේ රජයට, සමාජවාදී විප්ලවයට, කියුබානු ජනතාවට මෙන්ම ඔහුගේ සන්නද්ධ සගයන්ට සහෝදරත්වය හා කැපවීමේ පරමාදර්ශය පෙන් වූ ශ්‍රේෂ්ට විප්ලවවාදියෙක්. මම ඔහුට සැමවිටම පියෙකුට මෙන් ආදරය කලා. ගරු කළා. ඔහුගේ සහයෝගය, ඔහුගේ උපදෙස්, ඔහුගේ විචක්ෂණශීලී සහයෝගීතාවය, මව්බිමේ උස් නිදහස, කියුබානු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඔහුගේ ආදර්ශමත් කැපවීම මම සිහිපත් කරන්නේ එලෙසයි. මක්නිසාද යත්, සියල්ලන්ටම වඩා Ramiro Valdés බුද්ධිමත් උපදේශකයෙකු වූයේ තම පුද්ගලික කීර්තියට වඩා ප්‍රතිඵලවලට ප්‍රමුඛත්වය දුන්, කාගෙන් හෝ පිළිගැනීමක්, අගය කිරීමක් අපේක්ෂා නොකළ නමුත්, අරමුණෙ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ සගයන්ට ආදර්ශය ලබා දෙමින් දිවි නොතකා කැපවුණු අසම සම වීරයෙක් ලෙස” යයි තම නිවේදනය තුල කියුබානු ජනාධිපති Miguel Díaz-Canel තවදුරටත් අවධාරණය කර සිටියේය.

“අප කියුබාවේ සමාජවාදී විප්ලවීය ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ ජනතාවගේ එකමුතුකම සහ විප්ලවය කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය නිසා බව අපට අමතක කළ නොහැක. අපි අන් සියල්ලටම වඩා මෙම එකමුතුකම ආරක්ෂා කළ යුතුයි. මන්ද විප්ලවයේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන මෙම අරගලය තවමත් අවසන් වී නැති බව අපි දනිමු”.

2014දී මොන්කාඩා බැරැක්කයට එල්ල කල ප්‍රහාරයේ 61 වන සංවත්සරයේදී කමාන්ඩර් Ramiro Valdés කියුබානු ජනතාව අමතා එසේ ප්‍රකාශ කර සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්