මේ වන විට ඇමරිකානු සම්බාධක හේතුවෙන් දරුණු අර්බුධයක සිර වී සිටින කියුබාව හා ඇමරිකාව අතර සම්බන්ධතා නව මුහුනවරක් ගනිමින් CIA අධ්‍යක්ෂක ජෝන් රැට්ක්ලිෆ්, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අපේක්ෂිත වෙනස්කම් ප්‍රකාශයට පත් කිරීමට කියුබානු නායකයින් හමු වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. දෙරට අතර පැවැති සාකච්චා වලින් අනතුරුව මාධ්‍ය වෙත හෙළි වී ඇත්තේ කියුබාවේ ආර්ථික හා දේශපාලන තලයේ “මූලික වෙනස්කම්” සිදුවුවහොත් පමණක් වොෂින්ටනය ආර්ථික හා ආරක්ෂක සාකච්ඡාවල නිරත වන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පණිවිඩය කියුබානු නිලධාරීන්ට ලබා දුන් බවයි.
ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය වන CIA සංවිධානයේ අධ්‍යක්ෂක ජෝන් රැට්ක්ලිෆ්ගේ සංචාරය 1959 කොමියුනිස්ට් විප්ලවයෙන් පසු CIA අධ්‍යක්ෂවරයෙකු විසින් සිදු කරන දෙවන සංචාරය මෙය බව පැවසේ. එය එක්සත් ජනපදය සහ කියුබාව අතර ඉහළ මට්ටමේ හුවමාරුවල ප්‍රථිපලයක් විය හැකි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දේ. පසුගිය ජනවාරි මාසයේදී එක්සත් ජනපද හමුදාව හවානා මිත්‍ර පාක්ෂිකයෙකු වන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු කියුබාවට නැවත නැවතත් තර්ජනය කලද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ මොනවා දැයි හෙළි නොවුණි.
කෙසේ වෙතත් විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ CIA අධ්‍යක්‍ෂක ජෝන් රැට්ක්ලිෆ්ගේ සංචාරය සිදු වනුයේ එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම වසර මුලදී දිවයිනේ තෙල් සැපයුම කපා හැරීම සඳහා අවහිරයක් පැනවීමෙන් සහ කියුබාවට තෙල් සපයන රටවලට තීරුබදු පැනවීමෙන් තර්ජනය කිරීමෙන් පසුව වන අතර වර්තමානය වන විටද වොෂින්ටනය සහ හවානා අතර ආතතීන් අවසන් වී නොමැත. ඇමරිකානු බලපෑම් හේතුවෙන් කලක් කියුබාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවන් ලෙස සැලකෙන වෙනිසියුලාව සහ මෙක්සිකෝව ජනවාරි මාසයේදී තම බෙදාහැරීම් නවත් වනු ලැබිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රජාව විසින් මෙම නව සම්බාධක “නීති විරෝධී” ලෙස හෙළා දකින ලදී. එක්සත් ජනපද අවහිර කිරීම් හේතුවෙන් කියුබාව තුල බලශක්ති හිඟයකට මුහුණ දී ඇති අතර, එහිදී විදුලිය ඇනහිටීම් නිතර නිතර සිදු වෙමින් පවතින අතර එරට ආර්ථිකය ද නතර වී ඇත. දිවයිනේ ඉන්ධන සැපයුමට එක්සත් ජනපදය පැනවූ අවහිරයත් සමග එරට ආර්ථික දුෂ්කරතා තවත් උග්‍ර කර ඇති අතර, වැඩ කරන පැය ගණන අඩු වී ඇති අතර ශීතකරණ ක්‍රියා විරහිත වීම හේතුවෙන් ආහාර රක්ෂිත පවා නරක් වීමට ලක් වී ඇති බව ලෝක ආහාර සංවිධානය ද අනතුරු හඟවා තිබේ.
CIA අධ්‍යක්ෂවරයාගේ මෙම සංචාරය මුලින්ම වාර්තා කළේ කියුබානු රජය විසින් වන අතර, එය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ පැවති රැස්වීමක් ලෙස මාධ්‍ය විසින් නිවේදනය කර තිබිණි.
“දෙපාර්ශ්වයම දෙරටේ ආරක්ෂාව මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ උනන්දුව අවධාරණය කළහ,” යයි කියුබානු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, දිවයින එක්සත් ජනපදයට ජාතික ආරක්ෂක තර්ජනයක් නොවන බවට යලි යලිත් අවධාරණය කරමිනි.
CIA අධ්‍යක්‍ෂක ජෝන් රැට්ක්ලිෆ්ට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාවට ලබා දුන් පණිවිඩය තුලින් “ආර්ථික හා ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් බරපතල සංවාදයක යෙදීමට එක්සත් ජනපදය සූදානම්, නමුත් කියුබාව මූලික වෙනස්කම් සිදු කරන්නේ නම් පමණක් යන කොන්දේසිය මත පදනම්ව යයි පවසා සිටියේය. ට්‍රම්ප් ජනවාරි මස කියුබාවට මිලිටරිව මැදිහත් වන බවට තර්ජනය කල අතර, කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල් එයට පිළිතුරු ලෙස පවසා සිටියේ තම රට එවැනි තත්වයකට පත් වුවහොත් දිවි හිමියෙන් සටන් කිරීමට සූදානම් බවය. කෙසේ වෙතත් මිලිටරි මැදිහත් වීමක් ඇමරිකානු රාජ්‍ය ලේකම් MARCO TUBIO වර්තමානය වන විට තරයේ ප්‍රතික්‍ෂේප කර සිටි.
මෙම සාකච්චා සඳහා CIA අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්, රාවුල් කැස්ත්‍රෝගේ මුනුපුරා Raulito Rodriguez Castro, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Lazaro Alvarez Casas, කියුබාවේ බුද්ධි සේවා ප්‍රධානි ඇතුළු කියුබානු නිලධාරීන් හමුවූ බව කියුබානු සහ එක්සත් ජනපද නිලධාරීන් මාධ්‍ය වෙත හෙළි කර සිටියහ.
සාකච්චා වලදී දෙරට අතර බුද්ධි සහයෝගීතාව, ආර්ථික ස්ථාවරත්වය සහ ආරක්ෂක ගැටළු පිළිබඳව සාකච්ඡා කල බව CIA සංවිධානයේ උසස් නිලධාරියෙක් විසින් ඇසෝසියේටඩ් ප්‍රෙස්(AP) පුවත් සේවය වෙත තහවුරු කර සිටියේය.
කියුබාව එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව කරගෙන තිබිණි. එසේම කියුබාව “ඇමරිකානු මහාද්වීපයේ විරුද්ධවාදීන්ට” පාරාදීසයක් ලෙස දිගටම පැවතිය නොහැකි බව එක්සත් ජනපදයේ චෝදනාවට කියුබානු නියෝජිත පිරිස අවධාරනය කරනු ලැබුවේ තම රට එක්සත් ජනපද ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බවයි. එසේම ඇමරිකානු ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවට තම රට අඛණ්ඩව ඇතුළත් කිරීම පිළිබඳව කියුබානු නිලධාරීන් ද තම කණස්සල්ල ඇමරිකානු බලධාරීන්ට පළකර තිබිණි.
රට තුල මේ වන විට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයේ සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් කියුබානු රජය ප්‍රකාශ කළේ පෙර දින වොෂින්ටනය විසින් ඉදිරිපත් කරන ලද ඩොලර් මිලියන 100 ක මූල්‍ය ආධාර යෝජනාවක් සලකා බැලීමට තම රජය “සූදානම්” බවයි.
කෙසේ වෙතත් මෙම මුදල ඇමරිකාව විසින් ලබා දෙනුයේ කියුබානු රජයට නොව එරට කතෝලික පල්ලිය වෙත වේ.
තම රටට ලබා දෙන ඕනෑම ආධාර මුදලක් ජාත්‍යන්තර මානුෂීය ප්‍රමිතීන් සපුරාලන්නේ නම් පමණක් කියුබානු රජයෙන් එයට කිසිදු බාධාවක් ඇති නොවන බව තහවුරු කළද, ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල් ඇමරිකාවට පවසා සිටියේ 1962 සිට ඇමරිකාව විසින් පවත්වා ගෙන එනු ලබන සම්බාධක ඉවත් කිරීම දිවයිනට උදව් කිරීමට ඇති “සරල” හා සාර්ථකම ක්‍රම වේදය බව ද යලි අවධාරණය කර සිටියේය.











