ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ජනපති හමු වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ජනපති හමු වෙයි

වත්මන් රජයේ යහපාලනය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම මගින් ශ්‍රී ලංකාවට වේගවත් සංවර්ධනයක් සහ තිරසාර ආර්ථික ප්‍රගතියක් අත් කර ගැනීමේ අනන්‍ය අවස්ථාවක් උදා වී තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) පැවසුවාය.

මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මේ බව සඳහන් කළේ, අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, පශ්චාත් ආපදා සහන වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ මීළඟ අදියර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක මුහුණ දීමට සිදු වූ දරුණු ස්වභාවික ව්‍යසනය පිළිබඳ මෙහිදී කනගාටුව පළ කළ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය පළ කළාය.

සන්නද්ධ ගැටුම්, සුනාමි ව්‍යසනය, ත්‍රස්ත ප්‍රහාර, වසංගතය සහ දේශපාලන අර්බුද දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල කළ බව පෙන්වා දුන් IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ආපදා තත්වය හමුවේ පීඩාවට පත් ග්‍රාමීය ප්‍රජාව වෙනුවෙන් නව ආර්ථික ප්‍රබෝධයක් අවශ්‍ය බවත්, නිවාස, ඉඩම්, නැවත පදිංචි කිරීම් සහ ජීවනෝපායමාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නාය.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය ගත් කඩිනම් පියවරද මෙහිදී අගය කළ කළමනාකාර අධ්‍යක්ෂවරිය එම සහන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධික හදිසි මූල්‍ය ආධාර ලබා දී ඇති බවද සඳහන් කළාය.

එමෙන්ම, සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය යළි ඇති කිරීමේ වැඩසටහන් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ජනතාවටද ප්‍රතිලාභ සහතික කෙරෙන බවත්, අපේක්ෂිත ආර්ථික අරමුණු කරා ළගා වීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ සමඟ තවදුරටත් ඉදිරියට යා යුතු බවත් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සහ ග්‍රාමීය ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් කෘෂිකර්මාන්තයේ නියැලී සිටියද දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය, සාපේක්ෂව අඩු අගයක් ගන්නා බැවින්, ඉඩම් හිමිකම සහ සංස්කෘතික සම්ප්‍රදායන් සුරකිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඵලදායිතාව ඉහළ නැංවීමට සහ රැකියා අවස්ථා විවිධාංගීකරණය කිරීමට මධ්‍යකාලීන උපාය මාර්ගික වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු සංවර්ධන හවුල්කරුවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සාදරයෙන් පිළිගත් ජනාධිපති අනුර දිසානායක, දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය අගය කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් දායකත්වයට ස්තූතිය පළ කරමින් දිට්වා වැනි විශාල ආපදා තත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේද එම ආර්ථික ස්ථාවරත්වය නිසා බව සඳහන් කළේය.

දිට්වා අභියෝගය හමුවේ මෙරට පෙර සිදු වූ අන්දමින් දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගැනීමට රජය කටයුතු නොකළ බව පෙන්වා දුන් ජනාධිපති, උදා කරගත් මෙම ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ ඊළඟ අරමුණ බව සඳහන් කළේය.

එමෙන්ම, ආපදා තත්වය හමුවේ වැඩිම පීඩාවට පත් වූයේ මෙරට ග්‍රාමීය ආඩු ආදායම්ලාභි ජනතාව බවත්, ඔවුන් ආර්ථික වශයෙන් නඟා සිටුවීම මෙන්ම මානව සම්පත සංවර්ධනය සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී තවදුරටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලනෙත්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන අයද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn