සංගීතඥ රාජු බණ්ඩාර දිවිසැරිය නිමාකරයි…

සංගීතඥ රාජු බණ්ඩාර දිවිසැරිය නිමාකරයි…

ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර ඊයේ (15) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

වකුගඩු ආශ්‍රිත සැත්කමකට ලක්ව රෝගී තත්වයෙන් සිටි ඔහු රාගම පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 65 වන වියේ පසුවිය.

වර්ෂ 1960 අප්‍රේල් මස 14 වන දින කෑගල්ලේදී උපත ලැබූ රාජු බණ්ඩාර මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රකට පවුල් පසුබිමකින් පැවත එන්නෙකි. ප්‍රවීණ ගායිකා චන්ද්‍රා බණ්ඩාරගේ පුතනුවන් වන ඔහු, ජනප්‍රිය සංගීතඥ මහින්ද බණ්ඩාරගේ ආදරණීය සොහොයුරාද වේ. කෑගලු මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අවධියේදීම ‘Dark Shadows’ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයෙකු ලෙස කලා ලොවට පිවිසි ඔහු, පසුකාලීනව සිය මාමා වන ප්‍රේමනාත් කොඩිතුවක්කුගේ ආභාෂයද ඇතිව සංගීතය ස්වකීය ජීවිතය කර ගත්තේය.

පාසල් අධ්‍යාපනයෙන් පසු රූකාන්ත ගුණතිලක සමඟ එක්ව ‘නයග්‍රා’ (Nayagra) නම් බටහිර සංගීත කණ්ඩායම නිර්මාණය කරමින් කුරුණෑගල සහ හබරණ ප්‍රදේශවල හෝටල් ක්ෂේත්‍රයේ සංගීතය සැපයූ රාජු බණ්ඩාර, පසුව ක්ලැරන්ස් විජේවර්ධනගේ ‘මාධාරා’ සංගීත කණ්ඩායමට එක්ව එංගලන්තය සහ ප්‍රංශය වැනි රටවල සංචාරය කරමින් ප්‍රසංග පැවැත්වීය.

ස්ටැන්ලි පීරිස්ගේ ඇරයුමින් ප්‍රකට ‘පෝචූන්ස්’ (Fortunes) කණ්ඩායමට එක්ව කීර්ති පැස්කුවල් සමඟ එක්ව කටයුතු කිරීම ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

කණ්ඩායම් සංගීතයෙන් ඔබ්බට යමින් ඔහු ඒක පුද්ගල ගායන ශිල්පියෙකු ලෙස ස්ථාවර වන්නේ 1993 වසරේදීය. ඒ ‘මං ආදරේ රන් සීනු’ ඇල්බමය නිකුත් කරමිණි.

‘මා ආදරෙයි මුළු ලොවටත් වඩා’, ‘ඔය රූ සෝබා’, ‘රන් සීනු නාද දී’, ‘හද වේදනාව’, ‘කවුදෝ මගේ ලොවේ’ සහ ‘රෝස මල් කුමාරි’ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් මෙරට රසිකයන්ට දායාද කිරීමට ඔහු සමත් විය.

එමෙන්ම තම මව සමඟ ඔහු ගායනා කළ ‘හද ගී පොතේ පිටුවක් ඉරා’ ගීතයද රසිකයන් අතර ඉමහත් ආදරයට පාත්‍ර විය.

ගායනයට හා වාදනයට පමණක් සීමා නොවූ රාජු බණ්ඩාර රංගන ක්ෂේත්‍රයේද තම කුසලතා විදහා දැක්වීය. ‘දිය කැට පහණ’ ටෙලි නාට්‍යයේ ඔහු ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් හොඳම නැඟී එන නළුවා ලෙස නිර්දේශ වීමටද ඔහු භාග්‍යවන්ත විය.

මෑත කාලීනවද රූපවාහිනී සංගීත වැඩසටහන් රැසකට සහභාගී වූ ඔහු 2024 වසරේදී ‘දන්නවද ඔයා’ නමින් නවතම ගීත ඇල්බමයක්ද නිකුත් කරමින් අවසන් කාලය දක්වාම සංගීතය තුළ සක්‍රීයව රැඳී සිටි කලාකරුවෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්